Wednesday, September 14, 2016

දුවගේ කොල්ලා හොයන අම්මලා වෙතයි..

කසාද ගැන කතා කරද්දි නැන්දම්මා ලේලි වලි නම් අද කාලේ අනන්තය. අප්‍රමානය.. බෙලි ගස් වල ඔය හැටි ලාටු හැදෙන්නෙම ඔය නැන්දම්මා ලේලි වලි වල තරම කියන්නය කියලා අපේ අත්තාලා මුත්තලා කතාවට කියන්නේ ද කට කහනවාට නොවේය.

නැන්දම්මලා ලේලිලා වලි ගැන ඇහුනාට අම්මලා දුලාගේ වලි ගැන නම්  අඩුය කියලා කට්ටිය ඔහේ කියෙව්වා ට ඒවා ඉතින් එහෙමමත් නෙවේය  

ලජ්ජා බයක් නැති කෙල්ලට ඊයේ පෙරේදා දවසක පරණ හිතවතියක් සෙට් උනාය. ඒ කෙලිගේ මේ ටික දොහේම ජිවන සටන් පාඨය වෙලා තියෙන්නේ " අනේ අම්මේ මට ඕනේ එයාවමයි " කියන එකය.

හේතු කාරණා හොයාගෙන හොයාගෙන යද්දී අම්මලා දුලාගේ රණ්ඩුවක්ය. වෙන මොකටවත් නෙවේය. විරිදු තාලයක් දාලා කරලා ගත්තා නම්

“ මන් කැමතී කොල්ලාට

අම්මා කැමති නෑනේ...

අම්මා කැමැති කොල්ලාට

කරගහන්න මට බෑනේ ... “

වගේ සීන් එකක් ය.

 අම්මලා ඉතින් කොල්ලාගෙ රස්සාව, තරාතිරම, පරම්පාරාව, ජාතකේ හොයලා පරස්තාව කතා කරාට  දුවලාට ඔව්වා අදාල නැති ය. හිත ගිය තැන මාලිගාව ය.. මාලිගාව ගොඩ නැගුවයින් පස්සෙ දුවලා කවුරුත් ජාතකේ හෙව්වට ඒකත් ඉතින් ඕනාකමටම නොවේය. කොල්ලගේ ජාතකේ ගෙදරට ඉදිරිපත් කරන්න ඕනාවට ය.

කෙල්ල හොයා ගන්න කොල්ලාගේ ක්ලාස් එක අම්මට මදි වෙන්නේ ඔතනදීය. කොහෙන් හෝ ලකුනු කපන එක කපනවාය. අම්මලාට දොසක් කිය්නනත් බැරිය. අම්මලා ලෝකේ  දකින ලෙන්ස් එක දෝනියන්දෑට සැපවත් පික්චර් වල පෙන්වන තාලයේ ජිවිතයක් උරුම කර දීමය.

නමුත් දෝනියන්දලා හොයන්නේ හැන්ඩ්සම් ආදරේ උතුරපු කොල්ලෙක්ය. සල්ලි නැතත් ආදරේ මල්ලක් පිරෙන්න දිය හැකි කොල්ලා අගේය. එහෙම නොවන සල්ලි තියෙන පොස් කොල්ලෙක් හොයන දෝනියන්ද ලා ද නැතිවාම නොවේ.

ලැජ්ජා බයක් නැති කෙල්ලගේ ලෙන්ස් එකට පේන විදියට නම් ලෝකේ කෙල්ලෝ වර්ග තුනකි.

එක වර්ගයක් නම් සල්ලි නැතත් කොල්ලාගෙ මුහුනත් තහඩුව කොහොම උනත් ආදරේ ඉස්මුරුත්තාවට දෙනවා නම් හිත එතැන නවත්තන කෙල්ලෝය.

දෙවෙනි වර්ගයට නම් ඉතින් කොල්ලා අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට බදුන් කල හැකි තරමෙ හැන්ඩියෙක් විය යුතුය. කෙල්ලව ඇදුම් සාප්පු , පොෂ් පාට අවන්හල් දිගේ රවුම් දෙක තුනක් එක්කන් යන්නට තරම් සල්ලි තිබිය යුතු කොල්ලෙක් විය යුතුය. කොටින්ම කිව්වොත් කොල්ලා හැන්ඩ්සම්, බර අත්තක් විය යුතුය.

මේ දෙකටම අයිති නොවෙන තුන්වන පන්තියේ කෙල්ලන් නම් මීක් ගෑවත් හිස නොඋස්සන පුටුවක් අල්ලන් කියුටස් ගගා නොඉද ගෙදර දොරේ වැඩපල සියල්ල කරන වචනයේ නියමාර්තයෙනම අම්මාගේ හොද දුලා ය. අඩුම තරමේ අම්මාගේ වචනෙට පිටින් පුටුවකින් ඉදගන්නවත් ඔවුන් අකැමතිය.

ඒ කෙල්ලන්ය. අම්මලා ද වර්ග දෙකකි.

පලවෙනි වර්ගය බෑණා පොඩ්ඩ තමන් කැමති ජාතියේ කොල්ලෙක් විය යුතුයි කියලා හිතන අම්මලාය. කොල්ලගේ පෙනුම, පරම්පරාව, ගුණ යහපත්කම, සල්ලි බාගේ සේරම තරාදියට දාලා කිරලා මැනලා සුදුසුකම් සපුරන කොල්ලාට දෝණියන්දා තෑගී කරන අම්මලා ය.

දෙවැනි වර්ගය නම් ආදරයට ආදරය කරන අම්මලා ය. කෙල්ල හොයා ගත්තු කොල්ලා කෙල්ලට හොද නම් කෙල්ලට ආදරේ නම් අම්මටත් කේස් එකක් නැතිය. ඒ අම්මලා කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට ඕනා උනොත් බොක්කෙන්ම සපෝර්ට් කරන්න උනත් ලෑස්තිය .

ඔය අම්මලා දෙවර්ගයයි කෙල්ලෝ තෙවර්ගයි ගැන හිතුවාම ලජ්ජා බයක් නැති කෙල්ලට හිතෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා ය.

ඒත් ඉතින් පරහකට තියෙන්නේ ඔය කෙල්ලගේ ලව් එකට බකට් දාන අම්මලා කසාද බැන්දයින් පස්සේ දිග කන්නත් කෙල්ලත් එක්ක එනවද කියන එක උඩය. මගුල හොයන්නේ කරලා දෙන්නේ අම්මාය. ඒත් ඒ හොයන බෑණා කළු සුදු නෙවේ අළු චරිතයක් උනත් දිග කන්න වෙන්නේ කඹුරන්න වෙන්නේ දුවට ය. මිනිසුන්ගේ උපන් ගති ටික දිගහැරන්නේ දීගේ කෙරුනායින් පස්සේ කියන්නේ ද නිකමට නොවේය. එහෙව් එකේ අම්මා හොයලා දෙන බෑණා එක්ක දිග කන දුවට දෙයියන්ගේම පිහිටය.

කොල්ලා හොද උනොත් නම් ඉතින් හොදය. එහෙම නොවුනොත් ඉතින් විවාහය ගැන කතා කිරීමෙන් පලක් නැතිය. බටහිට සංස්කෘතිය හැඩ ගැහුණු කොල්ලෝ කෙල්ලෝ නම් කසාද පොතට හිර වී සිටිනවාට වැඩිය වෙනත් සංස්කෘතියක් අනුගමනය කරනවය.

ඒ ලිවින් ටු ගෙදර් සංස්කෘතිය ය.

ලෝකෙට පේන්න කසාදයක් කර ආයෙත් රට්ටුන්ගේ අවලාද මැද කසාදෙ කටු ගානවට වැඩිය දෙන්නෙක් කලක් ආශ්‍රය කරන්නට එක වහලයක් යටට වෙන එක හොදය. ඔවුන් කියන්නේ එහෙමය. ඉන් අනතුරුව එක්කෝ දීගේ කෙරෙනවාය. නැත්තම් දෙන්නා දෙපැත්තකට වෙනවා ය.


ඕක ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට දිරවන්නේම නැති වීම ම වෙනම කතාවකි. ඒත් ඉතින් ඒ කාලෙත් අපේ ඔය කියන මහා ප්රෞඩ ඉතිහාසය තුල ලිවින් ටුගෙදර් සංස්කෘතියම තිබුනේ ය. ඒ කාලේ එහෙම නමක් භාවිතා නොකලාට හිත ගිය කෙල්ලව අරන් පැදුරු පෑගුවයින් පස්සේ එක පැලක් අටවාගෙන දරු මල්ලෝ හදන්නේ ද ඉතින් ඔය කියන කසාද පොතක තියා කඩදහි කොලයකවත් සලකුණු නොකරය. ඕවාත් ලිවින් ටුගෙදර් මය.

මෑත කාලින ඉතිහාසයේ නම් කසාද ගෑනි ගෙදර ඉද්දි වෙන වෙන ඈයෝත් එක්ක වෙනම ලිවින් ටුගෙදර වෙන්න දිගින් දරු මල්ලොත් හදපු උදවිය ඈත ගම් වල විතරක් නොවේය. ප්‍රසිද්ධ වේදිකාවේ පවා ඉන්නවා ය. අදටත් ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්නේ මව්පියන් අවිවාහකය.

පෙරදිග උදවියට ඕවා මැජික් උනාට බටහිර සංස්කෘතියට නම් ඕවා සිම්පල් කතාය. ඕවා කැපිටල් කරගන්නට යන්නේ ද ඉතින් අපේ උදවිය විහින්මය. බටහිර ලෝකේ සුද්දා අනුන්ගේ කුණු තමන්ගේ ඔලුව උඩින් තියා නොගත්තාට අපේ උදවිය අනෙකාගේ කුණු බැරල් පිටින් ඔලුව උඩ තියාගන්න එක ඔය සේරටම මුලය.

මයි කාර් නම්, මයි පාකින් නම්,  කොහෙන් පෙට්‍රල් ගැහුවාත් කාටවත් මොකද කියලා කවුරු කවුරුත් හිතුවා නම් ඔය ප්‍රශ්න සේරම නතින් ය.







-          අරුණි කළුපහන -  

Monday, September 12, 2016

තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??

ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.

අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.

ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.

දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.

තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.

පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.

ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.

ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ‍ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.

ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.

ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.

අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.

නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.

එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.

අරුණි කළුපහණ