Wednesday, February 14, 2018

නුඹ සුළං රැල්ලක් ව



ජිවිතේ ගැටෙන අනන්ත අප්‍රමාණ වුනු කම්පන මිනිස්සු එක එක විදියට දරා ගන්නවා. සමහරු ඒ කම්පන එක්ක ඔහේ කල්පනා කර කර ජිවිතේට ගලා ගෙන යන්න ඉඩ හැරලා බලාගෙන ඉද්දි තවත් සමහරු ඒ කම්පන එක්ක ජිවිතේ නිර්මාණත්මකව ගොඩ නගනවා. ඒ නිර්මාණාත්මක ගොඩ නැගීම තුල කවි ලියවෙනවා. නවකතාමය සිතුවිලි කියවෙනවා. චිත්‍රපට බිහිවෙනවා. ගී සින්දු ගැයෙනවා. සංගීතය අපුරු ස්වර සොයා යනවා . ඒ තුළ හැම හැගීමක් ම හැම හුස්මක් ම අස්සේ අපුරු හැඩයකින් නිර්මිත කතාවක් රහසේ දරා ගන්නවා

මුතු බෙල්ලෙක් හදවත අස්සේ වැලි කැට එක්ක ඔට්ටු වෙන්නේ ඒ වැලි කැට එහෙට මෙහෙට පෙරලි පෙරලි ආත්මයම හුරල දාන එක ඉවසන ගමන්. ඒ රිදුණු ආත්මයේ වේදනාව වින්දනය කරමින් මුතු බෙල්ලෙක් හුස්ම ගන්නේ අපුරු වටිනා මුතු ඇටයක් ලෝකෙට බිහි කරන්න.

ඒ වගේම වේදනාවන් වින්දනය කරන්නම ඉපදුනු මිනිස්සු විදියට කවියෝ හදුන්වන්න මන් කැමතියි.

තමන්ගේ ජීවිතය ඇතුලේ ගොඩ නැගුණ කම්පන ලියවිල්ලකින් මිනිස්සු අතරට ගේන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. රිදුන රිදෙන රිද්දන හැම මොහොතක්ම කවියකින් ලියනවා කියන්නේ මරණයක් උපදිමත් අතර මොහොතක්. අර කලින් කිව්ව මුතු බෙල්ලා වගේමයි. ඒ වගේම තිඹිරි ගෙයක් මරණයේ හෝරාවත් වින්දනය කරමින් කවියෙකුට හුස්ම ගන්න පුළුවන් නම් ඔහු අපුරු පුද්ගලයෙක්. ඔහුගේ කවි කෑ ගහලා ලෝකෙට ඇහෙන්න කතා කරන්න පුළුවන් හඩකට වැඩිය ප්‍රබලයි. ඒ අකුරු හරියට දහසක් දේ නිහඩව කියන ඇස් දෙකක් වගෙයි.

වැරදිලාවත් අහන්නට බය
ජෝතිගේ සිංදු එක දෙක
ඉද රටක අතපොවා
කලත්තනකොට මතක

ඉකිගගහා හඩනවා මහද
ඉතින් මන් ඇස් පියාගන්නවා

අප්පච්චි නිතරෝම මුමුනන්න පුරුදු වුන
ගියායින් පසුවටත් ගේ පුරා ඇහුණ
හිත යටින් තාම මට ඇහෙනවා
---
යන ගමන නවතලා
අතරමග
බස් රියෙන් බහිනවා

ලියන්නෙම නෑ කියා
හිතින් උන්නත් ආයෙම
හීනි කදුලක් එක්ක
මතක රැල්ලක් දෙකක
තාම හිත් අගිස්සේ වදිනවා


එහෙම ලියුවුණු කවියක මුල සහ අග මන් හොයාගන්නේ “ නුඹ සුළං රැල්ලක් ව “ පිටු අස්සෙන්. රිදුම් ගැටුම් කම්පන ගලායාම් කදුළු හුදකලාව ඒ හැම හැගීමක් ම නුඹ හුළං රැල්ලක් ඇතුලේ කැටයමක් වගේ ඔබ්බවලා තියෙනවා. කතා කරන පින්තාරුවක වගේ අපුරුවට සායම් කරලා තියෙනවා.

මට අයිති නැති වුනොත් දවසක
මන් ගිහින් හිදින්නම්
දුර ඈත තරුවක
හිත රිදුනට මොකද
මන් බලන් ඉන්නම්
ආදරේ කියන්නේ ඒකට


මේ හැම කවියක් ම අයිති නිශාන්තට. නුඹ සුළං රැල්ලක්ව අයිති ඔහුට. නිශාන්ත ෆර්නෑන්ඩු.. කාලයක් තිස්සේ සයිබරයේ කවියට ආදරය කරන මිනිස්සුට නිශ් වුනු නිශාන්ත නුඹ සුළං රැල්ලක් ව කියන ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය එක්ක එළියට එන්නේ නිශාන්ත ෆර්නෑන්ඩු විදියට. කොහොම වුනත් මන් කීව අපුරු හදවතක් හිමි කවියා ඔහු. ඔහුට කවිකම කියන්නේම ආත්ම ප්‍රකාශනයක්. තමන්ගේ ආත්මය නිදහස් කරගන්න මොහොතක්. හැම ප්‍රශ්නකටම පිළිතුරක් හොයන මොහොතක්. රිදුන හදවතක් සුවපත් කරගන්න ඖෂධ ගල්වන තත්පරයක්.

“ තාත්තා මැරුණ කාලේ ඒ වේදනාව එක්ක මන් කවියක් ලිව්වා. ඒ කවිය ආයෙම දවසක මට ලියවිලි අස්සේ තිබිලා හම්බුනාම මන් ඒක සයිබර් අවකාශය එකට එකතු කරා. ඒක තමයි එහෙම සයිබරයට එකතු කරපු පලවෙනි කවිය. එතැනින් ඉදන් නුඹ සුළං රැල්ලක්ව බිහි වෙනකම් මන් සයිබරයට කවි ලිව්වා. ඒ හැම කවියක්ම මන් මාව නිදහස් කරගන්න ලියපු දේවල් මිසක්. පෙරලා කිසිවක් බලාපොරොත්තුවෙන් ලියපු දේවල් නෙවෙයි. කවි ලියලා අත්හැරුණු දේවල් ලගා කර ගන්න මට උවමනාවක් නැහැ.

මගේ පොතට පාදක වුනු වෙන්නේ සමස්ත සමාජය එක්කම ගැටෙන ප්‍රේමයක්. ප්‍රේමයට නිර්වචන නැහැ. උපන්න දවසේ ඉදන්ම දැනුනු මාතෘ ප්‍රේමයේ ඉදන් ජිවිතේට යන එන හැම කෙනෙක් එක්කම තියෙන බැදීම් ගැනයි මන් නුඹ සුළං රැල්ලක් ව තුලින් කියන්න උත්සාහ කරේ. ජිවිතේ හැම අහිමිවීමක් ම කවියක් කියන්න බැහැ වගේම සමහර අහිමිවීම් කවි කරන්නත් බැහැ. නමුත් කවියෙක් වුනාම තමන්ගේ හර්ද සාක්ෂියට අවංක වෙන්න ඕනි. තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ජිවත් වෙන්න ඕනි. කවියක් ලියද්දී මන් මට ලියන්න ඕනි දේ ලියනවා. සමහර කියන්න ඕනි දේවල් යටි පෙලකින් කියනවා. සමහරු ඒ කවි තේරුම් ගන්නවා. සමහරු වෙන වෙන අරුත් ගන්නවා. ඒ වගේම තවත් සමහරු දන්නෙවත් නැතිව ඇති ඒ කවි ලිව්වේ එයාලට කියලා.

කවියෙක්ට තියෙන සමාජ වගකීම විදියට මන් දකින්නේ තමන්ගේ කවිය හොදට ලියන එක. එහෙම නැතිව මේ කවිය කියවලා මේ මනුස්සයා මෙහෙම හැදෙයි කියලා හෝ මේ කවිය කියලා හිත නිවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක වැරදියි. කවියෙක් කවදාවත් තමන්ගේ කවියකින් සමාජයට හානියක් කරන්නේ නැහැ. ඒ වගේම කවදාවත් සමාජයට කවියක් ගැන කවියට චෝදනා කරන්න අයිතියකුත් නැහැ ඒ කවිය එයාලට ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද කවියක් ලියලා නිදහස් කලයින් පස්සේ ඒක පොදු දෙයක්. තමන්ගේ අත්දැකීම් හැගීම් අනුව තම තමන්ට එක එක විදියට දැනෙන දෙයක්.

කවියෙක් කවදාවත් විකුනන්න කවි ලියලා වැඩක් නැහැ . කවියෙක් කරන්න ඕනි කවි ලියලා සමාජ ගත කරන එක විතරයි. කවියේ හැඩය වෙනස් කරලා හොදට කවිය ලිව්වොත් මිනිස්සු ඒකට ආදරේ කරනවා. හොදම කවියටත් වැඩිය දැනෙන කවිය ලියන එක තමයි කවියාගේ වගකීම. “

ජිවිතයේ අප්‍රමාණ වූ ප්‍රේමයන් ට පිදුම ලියු ඔහු කවියෙක්ගේ ආත්ම ප්‍රකාශනය ගැන එහෙම කියද්දී, පෙරලුන පිටු අස්සෙන් මට තව කවියක් හමුවුනා.

මහා වැහි දිනවල අවන්හලක
උණු කෝපි රසවිදින සිහින

ඔබ කියන විදියට
ඔබේ ඉදිරිපස අසුනේ ඔබ
මහ වැස්ස දෙස බලාගෙන
මට ඔබව පෙනෙනුයේ
වැහි බින්දුවක් තරමට ලස්සනට
උණු කෝපි තරමට උනුහුමට
ආදරය

ඊට තවත් පිටුවක දෙකකට පස්සේ තවත් තැනක මෙහෙම තිබුනා.

නුඹ සුළං රැල්ලක් ව
හමාවිත්
මතක හලා යන
යළිත් සිත හැඩිකරන

දන්නවද ?
ඉදල් පහරකට
කොච්චරක් රිදෙනවා ද
හිත


ඒ හැම කවියක් ම දරා ගත්තු මහා මෙරක් බර ඒ හදවත එහෙමත් නැති නම් ඒ කඩදහි අස්සේ ගුලි ගැහිච්ච අකුරු හුළං රැල්ලක් ව කල එලි බසින්නේ ෆෙබරවාරි 17 වෙනි සෙනසුරාදාමහවැලි කේන්ද්‍රයේ දී හවස තුනට. විදින විදිවන වින්දනය කරන හැගීමක් ම එක්ක මොහොතකට තනි වෙන්න කැමති හැමෝටම එදාට එතැන අසුනක් තියෙනවා.

සංවාදය සහ සටහන - අරුණි කළුපහන

Saturday, February 10, 2018

හදවත රිද්දු මිනිසා ඔබ

හිත රිදෙන බව දැන දැන
හිත රිද්දු මිනිසා ඔබ
හද ගැහෙන බව දැන දැන
හදවත මරා දැමු මිනිසා ඔබ

අයිති නැති මුත් පෙම් බදින්නට
සිත තදින් අල්ලා ගත් මිනිසා ඔබ
මැරෙන උපදීන හිත හොදටම රිද්දා
නමක් නැති බැදීමට තිතක් තියන්නට
කැටයම් ඇල්ලු අසාධාරණ මිනිසා ඔබ


#අරුණි

2018/02/10