මේ මිහිදුමෙන් කදුකරය වැසුණු ගුප්ත දවස්.
වැහි අන්ධකාරය ගහක් කොළක් මලක් මනුස්ස ආත්මයක් නොපෙනෙන තරමට මහා දවාලෙත් පරිසරයම වෙලාගෙන. අපූර්වාගේ හිතත් හරියට අහස වගෙයි.
මේ දවස් වල අහසත් එකවරම කළු කරගෙන ඉසඹුවක් නැතිව එක දිගටම හඬා වැටෙනවා. සුසුම් හෙලමින්, මහා හයියෙන් වැලපෙමින්, තරහින් ඉක්මන් ගමනින් එහේ මෙහේ යමින්, අහස හඩා වැටෙනවා. ඉස්සර අහස ගෝරනාඩු කරත්දි අපූර්වා තිගැස්සෙනවා. ඒත් ජිවිතය කුණාටු වලින් පිරිලා ගියායින් පස්සේ තවත් බය වෙන්න තිගැස්සෙන්න හිතක්, හදවතක් ඉතිරි වෙන්නේ නෑ.
“ හදවතක් නැති කවිකාරී.. “
මිනිස්සු එහෙම කියනවා අපූර්වාට ඇහිලා තියෙනවා.
ඒත් තමන්ගේ ආත්මයේ තව දුරටත් කවිකාරියක් හුස්ම ගන්නේ නෑ කියලා අපූර්වා දැනගෙන හිටියා. ශාරද යන්න ගියේ කවිකාරිය මරලා කවිකම් පස් යට වල දාලා කියලා කාටවත් ඇහෙන්න කෑ ගහලා කියන්න අපූර්වාට ඕනි වුණේ නෑ. හැමදාමත් වගේ වාක්‍ය ගණන් පිළිතුරු ලියන්න ඕනි තැන් වලදිත් නිහඬවම බලා හිදින්න අපූර්වාට ඕනි වුණා.
“ ඊළග Counselling session එක කවදාද පුළුවන් අපූ.. “
ලාවණ්‍යා, අපූර්වාගේ මනෝ වෛද්‍යවරියගෙන් ඇමතුමක්.
ජිවිතය අත් හරින්නට ගත් උත්සාහයන් කිහිපයක්ම අවසානයේ අපූර්වාව නතර කරේ ලාවණ්‍යා ළග. හඩන්නට උරහිසක් දුන්නේ මිගාර. මැරුණ හදවතක් ජිවත් කරවන්න ඕනේ වුණේ වෙනුරට. හැම උත්සාහයක්ම අරගෙන ආයෙත් ජිවිතේ ගැන අපූර්වාට කියා දෙන්න හදන්නේ ලාවණ්‍යා. ඒත් හැම දෙයක්ම ළග අපූර්වාට දැනුනේ නිස්සාර හැඟිමක්. සති ගණන්, මාස ගණන් දිගින් දිගටම කතාබස් වු වචන සිය ගණනක් අතරේ අපූර්වා නතර වුණේ එකම මාතෘකාවක් ළඟ. එකම හැඟීමක් ළග.
“ අපූ.. “
අහස සන්සුන් වූ මොහොතක ආයෙත් ඇමතුමක්. ඒ ශාරද..
පිළිතුරක් නොදුන් ඇමතුම් කිහිපයක් අවසන, කෙටි පණිවිඩයක්.
“ මල් එව්වේ සොහොන් කොතේ තනියට නෙවෙයි අපූ, සොහොන් කොතක් ළග හරි, ආයෙත් මල් සුවඳ විසුරුණ මල් උයනක් වෙලා පිපෙන්න, බලාපොරොත්තුවක් දෙන්න.. “
ශාරද එහෙම ලියලා තිබුණා.
බලාපොරොත්තු, ශාරදගේ වචන අපූර්වාට සිනහවක් ගෙන දුන්නා. ඒක සෞම්‍ය, සන්සුන් සිනහාවක් නම් නෙවෙයි. ඒක වියරු ගුප්ත සිනහාවක්.
කාලෙකට කලින්ම ශාරදටම ලිව්ව කවියක් අපූර්වාට මතක් වුණා.
“ කතා අහගෙන ඉන්න තරු වලට
හිත ලියා දුන්න මොහොතක
ඔබ තමයි හිත නිවු මහා පිරිත
ආදරේ ලිව්ව දොළොස් මහේ පහන
කඳු අතර සැගව - තරු එළි විහිදන
මල් සුසුම් මැද - ස්නේහයේ සුවඳ මැව්ව
සඳ එළිය වගේ - රෑ පුරා රහස් කිව්ව
ඔබ තමයි හිත නොකියූ ඒ කවිය “
මහමෙරක් හිතේ දරාගෙන ලිව්ව ඒ වචන අපූර්වාට තවමත් ඒ විදියටම මතකයි. කතා බස් මැද ගෙවුණු රැයක, ළග තිබුණු කටු කොළයක ලියවුණු ඒ අකුරක් ගානේ තැවරුණේ ආදරය.
“ ආදරය “
සමහර වෙලාවට, සමහර සම්බන්ධතා වලට ඒ අකුරු හතරත් බර වැඩියි. ඒත් ඒ හැම කතාවක්ම පටන් ගත්තේ ශාරද, අවුරුදු ගානක් තිස්සේ ඒ හැම කතාවකට මුල පුරන්න මඟක් හෙව්වේ ශාරද. ඒත් ඒ ආදරයටම, තමන්ම හෙව්ව, තමන්ම ළගා කරගත්ත බැඳිම් වලටම නිගා දුන් මිනිසෙක්, දැන් බලාපොරොත්තු ගැන කතා කිරීමම අපූර්වාට සිනහාවක් ගෙන දුන්නා.
“ කවිකාරියගේ හදවත අයිති කර ගැනිම මරණීය පාපයක් ද අපූ? “
“ කවි වලට නිමිති වුණ පිරිමි ආත්ම අතරේ කුරුසියක ඇණ ගැහෙන්න ඔය තරමටම බයද ශාරද? “
“ සියයකින් එකක් වෙනවාට වඩා, කවි කිණිසි වලින් රිදෙන එකම එක හදවත දරාගෙන ඉන්න එකයි අමාරු අපූ!
2022.08.17