Saturday, March 20, 2021

🍀 01 🌸

" මල් පිපෙන්නේ මල් සුවඳ අරන් සිරිපා වන්දනාවේ යන සමනලුන්ට, තරු පිපෙන්නේ මහා රෑටත් වන්දනා නඩ වලට එළිය දෙන්න, සෙත් පිරිත් සජ්ජායනා කරන්නේ හිත නිවෙන්න, සීතල හුළඟ ඉන්නේ මහන්සිය නිවන්න, දන්නවද දේවා, සිරිපා වන්දනා කාලෙට දේවතාවියෝ දෙව් ලොවින් ඇවිත් සිරිපා අඩවියේ සැරිසරනවාලු. මල් සුවඳින් පිරුණු වනාන්තර අතරින් පාවෙලා යනවාලු. මනුස්ස වාසයක් ලං වුණාම සුදු සමනල වෙස් ගන්නවාලු. අහසේ තියෙන තාරකා සිතියම් අතරින් පාර හොයාගෙන වන්දනාවේ යන සමහර සමනළියන් ආපහු මේ පොළවේම නතර වෙනවාලු. දේවාත්මය සමන් දෙයියන්ගේ අඩවියේම කැප කරලා එහෙම නවතින්නේ ඇයි කියලා ඔයා දන්නවාද? "පාලු රාත්‍රියේ නිහැඩියාව බිඳිමින් වචන හෙව්ව අග්‍රගේ හඬ අඳුරු අහසේම තැනක මොහොතකට නතර ව තිබුණා. දේවාගේ හුස්ම ගන්නා හඬ විතරක් දුරකථනයකින් ගලා ආවා.

" දේවා.. ඔයා අහගෙන ද ඉන්නේ.. ? "

" හ්ම්ම්.. "

" එහෙනම් මොකුත් කියන්නේ නැත්තේ.. "

" මං තරු බලනවා. "

" තනියම.. මේ රෑ.. "

" හ්ම්ම්... "

" දීව්‍ය ලෝකයේ ඉදන් යාළුවෝ අතවනනවා ද දේවා.. "

ඔහුගේ සිනහා හඬ දුරකථනයක් දිගේ ගලා ගෙන එත්දී දේවාගේ හිත මොහොතකට නතර වුණා. හැමදාමත් දේවාගේ හිත නතර වුණේම හිත නිවන ඒ සිනහාව ළඟ. ඒ හිනා හඬ තවමත් හිත ඇතුලේ දෝංකාර දෙනවා වගෙයි. ඒත් හැම දෙයක්ම දැන් අතීතයක් වෙන්න යනවා කියලා දේවාගේ ගැහැණු හිතට දැනුනා.

" උඹ නම් හිත රිද්දවීමේ උපත.. ඒත් උඹම රිද්දලා උඹම අඩනවා. ඇයි දේවා?? "

මාෂාගේ හඬ දේවාගේ ඉකි බිදුම් හඬ අලුත් කරා.

" මට පාලුයි මාෂා. අග්‍ර නැතිව මට පාලුයි.. "

" ඇයි උඹ ආදරේ කරේ කියලා මට අහන්න බෑ.. ඒත් අග්‍ර උඹට ලං වෙන්න එත්දී උඹ පැනලා දිව්වා. මහා හුඟක් දේවල් කියලා හිත රිද්දුවා. දැන් අග්‍ර ආපහු හැරිලා යත්දී උඹ අඩනවා. එපා නම් ලං නොවී ඉන්න තිබුනා. ඇයි දේවා.. උඹ ඌට ආදරෙයි. උඹ ඒක තේරුම් ගන්න කැමති නැහැ. "

" මට තේරෙන්නේ නැහැ. මොනවත් මට තේරෙන්නේ නැහැ. මට දැනෙන එකම දේ අග්‍ර නැති හැම මොහොතක්ම මට දරන්න බැරි තරම් පාලුයි කියලා විතරයි. “

“ ඒ විතරක් ද? “

" නැහැ. අග්‍රට වෙන අය ලං වෙත්දී මාව පිච්චෙනවා මාෂා. අග්‍ර ඒ අය එක්ක හිනා වෙත්දී, මං ආදරේ කරපු හිනාව ඒ කතා අස්සේ දෝංකාර දිදී මට ඇහෙද්දී මාව හීරෙනවා, අග්‍රව දකින හැම වෙලාවක මං ඒ මනුස්සයාට කොච්චරක් ආදරේ ද කියලා මගේ හිත මට වද දෙනවා. මුණක්වත් නොදැක මං ආදරේ කරපු ඒ ආත්මය මගේ ඉස්සරහා දවස ගානේ හුස්ම ගන්න යන්නේ කියලා දැන දැන අග්‍ර ජිවත් වෙන සීමාවට මං ආපු එකයි වරද මාෂා. එදා මං අග්‍රගේ හිත සෙල්ලමකට ගත්තා. අග්‍ර කියන ආදරේ කතන්දර බොළඳ කතා කියලා හිතල මං ඒවා විහිලුවට ගත්තා. ඒ හිත එක්ක සෙල්ලම් කරා. ඒත් දැන් මට ඒ හැමදේම අතහැරලා ආයෙත් නොදකින දුරකට පැනලා යන්න ඕනි. මේ හැම හැගීමකින්ම ගැලවෙන්න ඕනි. "

" උඹ කලබල වෙලා දේවා.. "

" මට මාවම නැතිවෙනවා මාෂා. මට මාවම නැති වෙනවා. අවුරුද්දක් තිස්සේ මං හිනාවුණු ඒ සිතුවිලි දැන් කාන්දමක් වගේ ඒ මනුස්සයා දිහාවටම මාව අද්දනවා. “

" දේවා, හැමදාම කැම්පස් ඇරිලා කැෆේ එකට යන්න ඕනි කියලා තීරණය කරේ උඹ.. "

" අග්‍ර එතැනට හැමදාම සින්දු කියන්න එනවා කිව්වම මට බලන්න ඕනි වුණා. ඒත් ඒ එයාට හොරෙන්. එයාගේ ඇහැ නොගැටෙන සීමාවේ ඉදන්. එක මොහොතකට එයා හුස්ම ගන්න ඒ වහල යට ඉදන් එයා දිහාවේ බලන් ඉන්න මට ඕනි වුණා. ඒකයි මං එතැනට ගියේ.. “

" අග්‍ර මෝඩයෙක් නෙවෙයි දේවා. උඹ දුවගෙන එන බව දන්නා නිසාම තමයි අග්‍ර උඹට ඒ ගැන කිව්වෙත්. "

දේවාශ්‍රීගේ දිගු හුස්ම බොහෝ කතන්දර නොකියා කිව්වත් ඒ හඬේ පසුතැවීමක් වුවා දැයි මාෂාට නිශ්චිතව සිතා ගන්න නොහැකි වුණා.

" අවුරුද්දේ හැමදාම එයා කාටත් කලින් කතා කරේ මට, ජිවිතේ හැම පුංචි කතන්දරයක්ම එයා කිව්වේ මට, අවුරුදු ගණන් පරණ ගම් වල පුරාවෘත ගැන, සද එළිය දිගේ පාර කියන තාරකා අස්සේ හැංගුණු මනුස්ස ජිවිත ගැන, මායාකාරී ලෝක ගැන, මං තවමත් ආදරේ කරන කතන්දර ගැන එයා කියා දුන්නේ මට, එයාගේ ලෝකේට මං එනකොට එයා හිටියේ තනියම. මං හිතුවේ එයාගේ ලෝකේට මම ඇරෙන්න ආයෙත් වෙන කවුරුවත් එන එකක් නැහැ කියලා. ඒත් ඒ ලෝකේ මම ඇරෙන්න තව හුඟ දෙනෙක් ඉන්නවා කියලා දකිද්දී, දැනෙද්දී මට දුකයි මාෂා. එයාගේ ජිවිතේ සුබ නිමිත්ත මම කියලා කියපු මනුස්සයෙක්ට, එයාගේ හිත නිවන හුස්ම මම කියලා විශ්වාස කරපු මනුස්සයෙක්ට එහෙම වෙනස් වෙන්න පුළුවන්ද මාෂා, ඒ තරමටම වෙනස් වෙන්න පුළුවන්ද? “

“ උඹ කරන ඒ වෙනස්කම් දරාගෙන අග්‍ර අවුරුද්දක්ම උඹ ළගින්ම හිටපු එකම ආදරේ නෙවේද දේවා? ඒත් ඒ ඉවසීමටත් දැන් මහන්සි ඇති. “

“ එහෙම මහන්සි දැනෙනවා නම් ඒක ආදරේ වෙන්නේ කොහොමද? එයා ආදරෙයි කියලා මට දැනෙන්න හරිද්දි මං එක පාරම කැමතියි කියන්න ඕනිද? මට ඕනි වුණේ එයාගේ ආදරේ අනන්තය තරම් දුර කියනවාද දකින්න, ජිවිත කාලේම මාව දරාගන්න පුළුවන්ද බලන්න, පුංචි දේවල් ළගත් ඒ ආදරේ වෙනස් නොවී ආදරේ දෙනවාද දකින්න. මට ජිවිතේ පුංචි පුංචි කාර්තු වලට බෙදලා මිනිසුන්ට ආදරේ බෙද්දන්න බෑ මාෂා, මේ සංසාරයට මං එක්ක ඇවිදගෙන යන්න එන ආදරයක් මට ඕනි, මගේ ජිවිතේ හුස්ම අහුරම එක පිරිමි පපුවක නිදහස් කරන්න මිසක් අතින් අතට යන බෝනික්කියක් වෙන්න මට බැහැ. ඒත් එයා ඒක තේරුම් ගන්නේ නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා එයාගේ ලෝකෙට බලෙන් එබෙන්න එන එක එක්කෙනා ළං කරගෙන සතුටින් හිනාවෙනවා. මට රිදෙනවා කියලා දැන දැනත් එයා එයාට තවත් ලෝකයක් තියෙනවා මට පෙන්නනවා. සමහර විට මෙච්චර කල් එයාට රැවටිලා තියෙන්නෙත් මගේ හිතම වෙන්නත් ඇති. “

“ හෝව් හෝව් හෝව්ව්. පොඩ්ඩක් ඉන්න දේවා. පොඩ්ඩක් සන්සුන් වෙන්න. අග්‍ර උඹට ආදරෙයි, ඒක මට විශ්වාසයි. ඒත් උඹ කලබල වෙලා අනන්තයකටත් වඩා දුර හිතනවා. හැමදාම අග්‍ර විතරද උඹට රිද්දුවේ, උඹ උඹට කොල්ලෙක් ඉන්නවා කියලා එයාට බොරු කරලා අග්‍රව රිද්දුවා. ඒත් අග්‍ර ආපහු හැරිලා යන්න ගියේ නෑ. ඊට පස්සේ එයාට පේන්න වෙන කොල්ලෝ එක්ක කියව කියව හිනාවෙවී අග්‍රට රිද්දුවා. ඒ මොනවාද එතකොට, උඹ එහෙම රිද්දනකොට අග්‍රට කොච්චරක් රිදෙනවා ඇතිද දේවා, ඒත් ඒ දේම එයා උඹට ආපිට කරලා පෙන්නද්දි උඹට දරාගන්න බෑ.. “

මාෂාගේ කතා බොරුවක් නොවන බව දේවා දන්නවා.

“ ඒත් මාෂා, එයාට ජිවිතේ අමාරු කාල වල මං ළගින්ම හිටියා, මටත් වඩා මං එයා ගැන හෙව්වා. ඒත් මට ජිවිතේ අමාරු වෙත්දි ඇයි එයාට බැරි මං ළගින්ම ඉන්න. අද මං විතරක් පාළු කාන්තාරෙක තනි වෙලා. එයා කට්ටිය පිරිවරාගෙන සතුටින් හිනාවෙනවා. “

“ උඹ ආත්මාර්ථකාමී දේවා, ආදරේදි හයියක් වෙන්න ඕනි වගේම අමාරු කාල වල විතරක්ම නෙවෙයි හැම තත්පරේකම ආදරේ දෙන්නත් ඕනි. හිත් කැඩෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. තවමත් උඹ ගැන වද වෙන නිසා තමයි ඌ එහෙම උඹව ඉවසන්නේ.. “

“ නෑ එයා මං ගැන හොයන්නේ නෑ. මට එක කෝල් එකක් දෙන්නේ නෑ, හිත හැදෙන එක වචනයක් කියන්නේ නෑ. හිටපු ගමන් මොකක් හරි හිත රිදෙන වචන පේළියක් ටයිප් කරලා එවලා මාව අඩවනවා මිසක්. “

“ එහෙම ඇඩුවත් ආයෙත් කෝල් එකක් අරගෙන, මං තරහා නෑ දේවා.. කියන්නෙත් ඒ අග්‍රම නේද දේවා? “

මාෂාගේ වචන වලට දෙන්න උත්තරයක් දේවා ළග තිබුණේ නෑ. ඒ වෙනුවට අහසේ තියෙන තාරකා අස්සේම නැවතිලා හිටපු කාලයට ආපහු යන්න තිබුණා නම් කියන හැගීම විතරක්ම දේවාගේ හිතේ හොල්මන් කරා.

අග්‍ර සදස්වි ගුරුදෙණිය,, දේවාට හම්බ වීමම අහම්බයක්. ඒ අහම්බය වාසනාවද අවාසනාවද දේවා තවමත් හිතනවා. අග්‍රගේ අප්පච්චිගෙන් දේවා චිත්‍ර ඉගෙන ගන්න ගියේ අවුරුදු තුනකට විතර ඉස්සර දවසක. ඒත් ඒ එක දවසකවත් අග්‍ර ඒ කලා ආයතනයේ හිටියේ නැහැ. ඒත් කලා ආයතනය පිටිපස්සේ තිබුණ අතීත කාලයට අයිති මහා ගෙදර බිත්තියක, මැටි පිඩක් අතින් අරගෙන අපූර්ව මූර්තියක් නිර්මාණය කරන ලස්සන පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් තිබුණා දේවාට මතකයි.

ඒත් මීට අවුරුද්දකට කලින් අහම්බෙන් වගේ ජිවිතේට එබුණු අග්‍රත්, බිත්තියේ පින්තුරේ ඉදන් තමන්ගේ හිතේ රූප ඇන්ද ගුරුදෙණිය සර්ගේ පුතා සදස්විත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා දේවාට මතක් වුණේ සෑහෙන කාලයකට පස්සේ.

ඒත් ඒක දිග කතාවක්.

අරුණි කළුපහන


                                    

No comments:

Post a Comment