Saturday, March 29, 2025

මිහිදුම් මතක

 තරු පිරුණු අහසක් කියන්නේම කවි පොකුරක්. වැහි මීදුමෙන් වැහී ගිය පාරක් කියන්නේම මනෝ ලෝකයකට නිමිත්තක්. උණුසුම් කෝපි බදුනක් ලියන්නට උත්තේජනයක්. ඒත් හිතන්නවත් ලියන්නවත් නොහිතෙන අනන්තයක අපූර්වාගේ හිත නතර වෙලා තිබුණා. මේ කිසිම දෙයක් නොලිවී ගෙවෙන කී වෙනි අවුරුද්දද අපූර්වාට මතක නෑ.ඉරි තැලුණු, බිදුණු සමනලෙක්ගේ අත්තටු හිමිහිට සැලෙන හැගිමක් අපූර්වාට දැණුනා. අත්තටු සැලෙනවා කියන්නෙම තව තවත් බිදෙන එක. ඉරි තැලෙන එක. රිදෙන එක.


අතීතයේ ඉරි තැලුණු සුව වෙන්න නම් ඔයා ලියන්න ඕනි. ලියලා නිදහස් වෙන්න ඕනි.. අපූර්වාගේ සිත කෙදුරුවා.


ඒත් අපූර්වාගේ හිතවත් ඇඟිලිවත් ඒකට සුදානම් නැහැ.


“ ඔයාට තියෙන්නේ මායාකාරියකගේ ඇඟිලි.. “


දවසක් ශාරද එහෙම කිව්වා.


“ ඇයි.. ?


කොයි වෙලේත් සිනාමලක් විසිරෙන දවස් ඒ.


“ මල් වැස්සක් වහින කවියක් ලියයිද, මුවහත් දැලි පිහියක් වගේ හින්ට් එකක් වදින කතාවක් ලියයිද කවුද දන්නේ.. “


“ ඒත් ඇයි මං නවකතාකාරියක් නොවී මායාකාරියක් වෙන්නේ.. “


“ ඔයා එතකොට මං දන්න අපූ නෙවෙයි. ආගන්තුක කෙනෙක්. මායා ලෝකෙක ඉදන් ලියනවා වගේ එක හුස්මට ලියනවා. භාවනාවක සම වැදිලා වගේ කල්පනා කරනවා. ආයෙත් ලියනවා. ඒ ලියන ඒවා කියෙව්වාම සතුටු වෙන්නද අඩන්නද බය වෙන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. “


අපූර්වා කිසිවක් නොකියාම ඒ ඇස් දිහාවේ බලන් හිටියා.


සායම් වලින් විසිරුණ තිත් ඔහුගේ අතක තිබුණා. ඒ උරහිස පින්සල්, කැන්වස් පිරුණු රෙදි බෑගයක බර ඉසිලුවා. අනිත් අත අපූර්වාගේ අතින් අල්ලාගන්නට දිගු වුණා. එහි විසල් රේඛා අපූර්වාට තවමත් මතකයි.


“ එහෙම අතකට පුළුවන්ද මිනිහෙක් මරන්න.. “


අපූර්වාගේ හිත කෙදුරුවේ වර්තමානයත් අතීතයත් අතර දොඩමලු වෙමින්.


“ මං මටම වෛර කරනවා. ලැජ්ජා වෙනවා, මං කොහොමද එහෙම මිනිහෙක්ට ආදරේ කරේ මිගාර.. “


අපූර්වා දිගු සුසුමක් අතරින් කෙටි පණිවිඩයක් යැව්වා. කෙටි පණිවිඩයට මිගාර දුන්නේ පිලිතුරු දුන්නේ ඇමතුමකින්..


“ අපූ.. “


මනුස්ස ආත්මයකට හොඳම මිතුරෙක් ඕනි වෙන්නේ ආත්මයේ රිදුණු තැන් කියලා නිදහස් වෙන්න. හිත නිදහස් වෙනකම් අඩන්න. එතැනදි ඇහුම්කන් දෙන්න කෙනෙක් මිසක්, උපදේශන සේවයක්, මඟ පෙන්වීමක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපූර්වා අකැමතිම ප්‍රශ්න අහගෙන ඉදලා ප්‍රශ්න විසඳලා දෙන්න උත්සාහ කරන මිනිසුන්ට. මිගාර අපුර්වාව අවුරුදු දහයක් තිස්සේ හොඳට තේරුම් අරගෙන හිටියා.


සමහර වෙලාවට වෙනුරටත් වඩා. “ නිත්‍යානූකූල ස්වාමි පුර්ෂයා” කියන්නේ ලයිසන් එකක්. ලයිසන් එකකින් බැදීම් ගොඩ නැගුවාට හැඟිම් ගොඩ නගන්න අමාරුයි.


“අපූ.. “


මිගාර තවමත් කල්පනාකරන අපූර්වාගේ ඇමතුමේ රැදිලා හිටියා.


“ මට මහන්සියි මිගාර... “


“ මොකද වුණේ.. “


“සිංදුවක් ඇහුවා. “


“ මතක අලුත් වුණාද.. “


“ ඔව්.. ඒ සිංදුව අවුරුදු ගානකට කලින් අහපු වෙලාවේ දැණුණ හැඟීමම මට ආයෙත් දැනෙනවා මිගාර.. සිංදු හරියට කාලය හරහා අපිව ගෙනියන යතුරු වගේ.. “


“ වැරැද්ද සිංදුවේ නෙවෙයි අපූ.. වැරැද්ද තියෙන්නේ ඔයාගේ.. එතැනින් නිදහස් වෙන්න. ආයෙත් ලියන්න. හිත නිදහස් වෙන්න නම් ඔයා ඒ සේරම ලියලා විසික් කරන්න “


“ මොනවා කොහොම කොතනින් ලියන්නද මට තේරෙන්නේ නෑ.. “


“ ඔයා ඔය ආදරේ කරේ චිත්‍ර අදින මිනිහෙක්ට.. ඒ නිසා ඔයා චිත්‍ර අදින්නත් පුරුදු වුණා. එයා නැතිවත් ඔයා තවමත් අදිනවා. එහෙනම් ඇයි අකුරු වචන විතරක් මඟ හරින්නේ.. “


“ මං චිත්‍ර අදින්නෙත් නෑ. සිංදු අහන්නේත් නෑ. ඉබේ ඇහුණොත් මිසක.. ඇහුණත් ඒ සිංදු නිසා මං පිච්චෙනවා.. “


“ ආදරේ කියන්නේ ජිවත් වෙන්න බලාපොරොත්තු දෙන එක වුණත්, වෙන්වීම කියන්නේ මරණයක්ම නෙවෙයි අපූ.. “


“ මං තියන්නම් මිගාර.. “


අපූර්වා ඈමතුම විසන්ධි කරේ මිගාර පිළිතුරක් දෙන්නත් කලින්. මිගාර එයට හුරු වෙලා කියලා අපූර්වා දන්නවා.


“ මිස්.. මල් පොකුරක් ඇවිත්.. “


චාන්දනී කැලෑ ඩේසි මල් පොකුරකුත් අරගෙන දොරෙන් මතු වුණා.


“ කාගෙන්ද චාන්දනී.. “


“ නමක් ගමක් කිව්වේ නෑ.. සුබ පැතුමක් ලිව්ව කාඩ් එකක් විතරක් ඩිලිවරි සර්විස් එකෙන් දුන්නා.


කැලෑ ඩේසි මල් සුවඳත් සමඟින් අපූර්වා එක්ව සිහිපත් කරන එකම එක ආත්මයක් විතරක් අපූර්වා දැනගෙන හිටියා. සායම් සුවඳ විහිදුණ අත් අපූර්වාගේ හිතෙහි ඇදුණා. ඒත් ඒ කාඩ් එකේ කිසිම නමක් නොලියා නන්නාදුන ලෙසින් සුබ පැතුමක් පමණක් ඇති බව අපූර්වා දන්නවා.


“ ජිවිතේ අමු සොහොනක් කරලා, මල් එවන්නේ සොහොන් කොතේ තනියටද ශාරද..”


උපන්දින සුබ පැතුම් පතත් මල් පොකුරත් දෙස හිස් දෑසින් බලා හුන් අපූර්වා මල් පොකුරට කෙදුරුවා. කසළ බදුනෙහි මල් පොකුරත් සුබ පැතුමත් රැදෙද්දි අපූර්වා ආයෙත් හිස් බැල්මෙන් අහස දිහාවේ බැලුවා.


වළාකුළු පිරුණු අහස වැහි අන්ධකාරයෙන් පිරිලා තිබුණා. ඒත් ගම් දනව් පිරි ඉතිරෙන්න අඩන්න හේතු තිබුණත් සමහර වෙලාවට අහසත් නොහඩා දරා ගන්නවා ඇති. ඝන හුළගකින් බර සුසුම් හෙලා ලය සැහැල්ලු කර ගන්නවාත් ඇති. කදු අතරින් එහා මෙහා පාවෙන වළාකුළු අතරේ කාටවත් නොකියන කතන්දර කොයි තරම් නම් ඇත්ද?


2022.08.11

No comments:

Post a Comment