Wednesday, April 19, 2017

කඳුකර මතක

කම්මුල් ඉරිතලා යන තද සීතල එක්ක මන්දරා උන්නේ ග්‍රෙගරි වැව ගාව උද්‍යානයේ තණකොළ බිස්සේ ඉදගෙන. අනිත් කට්ටිය ඊට ටිකක් එහායින් රවුමට බිම ඉදගෙන ගීතයක් මුමුණමින් හිටියේ ඉර බැහැගෙන යන සප්ත වර්ණ මුසු වුනු හැන්දෑවට අමුතු චමත්කාරයක් එක්කරමින්. පවුල් පිටින් තනි තනිව ජෝඩු ජෝඩු විවිධ අය ග්‍රෙගරි වැව රවුමට ඇවිදින් හිටියේ හැන්දෑවේ චමත්කාරය විදිනවාටත් වැඩිය ගෙග්‍රරි වැව අවට සීතල එක්ක මුහු වෙලා තිබුණු අමුතු ම හුදකලාව අත්විදින්න වෙන්න ඇති කියලයි මන්දරාට හිතුනේ.
හෙමිහිට රැලි නැගුවද ගාම්භීර බවක් මවාගෙන ඉන්න ග්‍රෙගරි වැව දිහාවේ මොහොතක් කල්පනාවේ බලාගෙන හිටපු මන්දරාට තවත් එතනට වෙලා ඉන්න කම්මැලි හිතුනා.

ඔබ දකින්න ට
සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත්
ඔබව සොයනා 
කිමද මේ සසල සිත

ඔබේ රුව මැවී මැවී
පෙනෙනවා
අතරමං සිතුවිලි තුල
කිමද මේ සොදුරු බව

අතැගිලි වැදී ස්වර නගන ගිටාරය යොවුන් කටහඩවල සමුහය එක්ක එකතු වෙලා වා තලයට සුන්දර හැගීමක් එක් කළා. හෙමිහිට හුන් තැනින් නැගිට්ට මන්දරා හෙමිහිට පියවර එසෙව්වේ ටික දුරක් හෝ තනියම ඈතට ඇවිද යන්න හිතාගෙන. ඇයටත් මේ සොදුරු ගුප්ත හුදකලාවේ මොහොතකට හෝ තනි වෙන්න වුවමනා වෙලා තිබුනා.
වට රවුම් පාර දිහාවට හැරුණත් ඒ පාර දෙපස රෝස මල් මිටි ගණන් තියාගෙන විකුණන අය සේම සිතලට අදින විවිධ ඇදුම් පැළදුම්, ස්ට්‍රෝබරි, විවිධ සිහිවටන වෙළදාමේ යෙදෙන පිරිස්ගෙන් පිරි තිබුනා. ඒ නිසාම ඇය ග්‍රෙගරි වැව අසලින් ම වැටි තිබුණු පුංචි අඩි පාර තෝරා ගත්තා. නෙක වර්ණ මල් වලින් විතරක් නෙවෙයි ගොම්මන් කළුවර පලවා හරින ලා කහ පාට පහන් කණු ගෙනාවේත් අමුතු හුදකලාවක්.
හෙමිහිට ආදර බස් තෙපලන පෙම්වතුන් ට අවට ලෝකය ගැන ගානක්වත් තිබුනේ නැහැ. පෙම්වතුන්ගේ ආදරණිය හැන්දෑවන් මැදින් මන්දරා ඇවිදින් තිබුනේ මදක් හුදකලා වුනු පෙදෙසකට. අසල ජල තලය මත හෙමිහිට නැලවී නැලවී තිබ්බේ බෝට්ටු ගෙදරක්. ඊට එහා පැත්තේ තවත් පුංචි බෝට්ටුවක්. කැමති කවුරු හරි ඉන්නවා නම් නැගලා බහින්න බැරි කමක් නැහැ කියන්න වගේ බෝට්ටු ගෙදරයි පුංචි බෝට්ටුවයි තිබුනේ ඉවුර අයිනේ මයි. බෝට්ටුවට නැගලා බලන්න හිතුනත් ඒ එක්කම මන්දරාට අපුරු අදහසක් හිතුනා. අපුරු කිව්වට ටිකක් පිස්සු අදහසක්. ඒ ග්‍රෙගරි වැවේ වතුර සීතලේ තරම වැවට අතදාලා මනින්න. වට පිට බලලා මන්දරා හෙමිහිට අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බා.

“ ඒයි.. “
එකවර පිටුපසින් ආපු ශක්තිමත් අතක් මන්දාරා ව පිටිපස්ස ට ඇදලා හරවලා ගත්තා. ඊලග මොහොතේ ශක්තිමත් අතෙහි අයිතිකාරයා මන්දරා ඉස්සරහ. වයස නම් කියක් ද මන්දා. බෙල්ල ගාවට වැහිච්ච කළු ජර්සි එකකුයි ඇදපු මුහුණ පුරා කොට රැවුල් කෑලි වලින් එහෙන් මෙහෙන් වැවිලා තිබ්බ වස නපුරු මුණක්. එකපාර අන්ද මන්ද වෙලා හිටපු මන්දරාට හිනා ගියේ නාදුනන මුහුණේ තිබ්බේ වස නපුරු පෙනුම දැකලා.

“ මැරෙන්න ද යන්නේ.. “

ආයෙත් වස නපුරු මුහුණ ආයෙත් බෙරිහන් දෙනවා. හැන්ඩ්සම් පොෂ් පෙනුමක් තිබ්බට නම් මොකද බෙරිහන් දෙන්නේ රෑට කාපු නැති රොට්වයිලර් කෙනෙක්ටවත් හපන් විදියට කියලයි ඒ ඔක්කොම අස්සේ මන්දරාට හිතුනේ. කොහොමත් මන්දරා කියවනවට වැඩිය හිතනවා ස්පීඩ් වැඩි.

“ නැහැ.. ඇයි.. “

මන්දරා හිනාවක් අතරින්ම ඇහුවා.

“ එහෙනම් අර මොන මගුලට ද අර ලේක් එක ඇතුලට අඩිය තියන්න ගියේ. “

“ අඩිය තියන්න නෙවෙයි. වතුර වල සිතල බලන්නයි ගියේ.. “

මන්දරා සන්සුන්ව කිව්වත් අර වස නපුරු මුහුණ නම් සන්සුන් වෙන පාටක් නැහැ.

“ පිස්සු ද ඕයි.. මේ පට්ට සීතලේ වතුර වලවල් අස්සේ විකාර කරන්නේ.. “

“ ඇයි එහෙම කරන්න එපා කියලා නීතියක් මේ කොහේ හරි ලියලා තිබුනා ද ? අනේ මන් දැක්කේ නැහැ නේ එහෙම එකක්. ටිකට් එකේවත් තිබ්බේ නැහැ.. “

මන්දරාට හිතුනෙම ඒ වස නපුරු මුහුණට විහිළුවක් කරලා අවුස්සන්න. හිතුවාටත් වැඩිය ඔහුගේ මුහුණ කේන්තියෙන් රතු වුනා.

“ අනේ මේ.. පව් නොදී ඕනි එකක් කරගන්නවා එහෙනම්..  ඇද ඇද හිටපු චිත්‍රෙත් පැත්තකින් තියලා ආවේ මැරෙන්න යනවා කියලා හිතලා.. දැන්ම ගිහින් මැරෙනවා ඕනි නම් අන්න තියෙනවා වැව.. “

කේන්තියෙන් කියපු ඔහු ආපහු හැරුනා.

“ අපරාදේ පිනක් කරගන්න තිබ්බ චාන්ස් එක නේද මිස් වුනේ .. “

ඒ පාර නම් මන්දරා ඇහුවා නෙවෙයි ඇහුනා. ඒක ඇත්තටම මන්දරාගේ බ්රේක් නැති කටේ වැරද්දක්. කේන්තියෙන් හැරිලා බලලා අඩියක් ඉස්සරහට තිබ්බ ඔහු ආයෙත් හැරිලා යන්න ගියේ ඊට ටිකක් එහායින් තිබ්බ ලි බංකුවක් දිහාවට. ලී බංකුව උඩ කරේ එල්ලන් යන බෑග් එකක් උඩ කාර්ඩ් බෝඩ් එකක් වගේ කඩදහියක් තිබුනා.
ඔක්කොම අය ඇවිල්ලා ග්‍රෙගරි වැවේ හුළග විදින කොට මෙයා විතරක් මෙතන පින්සල් පාරවල් ඇද ඇද ඉන්නවා.. මන්දරාට හිතුනා. හැබැයි මේ පාර නම් වෙලාවට හිතුන දේවල් වචන වලට පෙරලුනේ නැහැ.  ඒ වෙනුවට අඩි පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියේ නැගුනු හිනාවත් එක්කමයි.  ටිකක් දුර යද්දී මන්දරාට කලින් ඇවිදින්න ආව මන්දරාගේ යාළුවො ටිකක් ෆොටෝ ශුට් එකක්.  කැමරාවක් දැක්කත් ඇති කට්ටිය.. එක්කෙනෙක් ෆොටෝ හැටක් විතර අරන් තමා නවතින්නේ.. පස් හය දෙනෙක් ඉදන් ෆොටෝ හැට හැට වගේ ගන්න ගියාම ඉතින් ෆොටෝස් ගන්න ශමරාට නම් හොද ගණන්..

“ ඒයි මන්දී.. කොහෙද යන්නේ.. “

ඒ ශමාරා...

“ රස්තියාදුවේ... “

“ අපි යනවා හොල්මන් මන්දිරේ බලන්න.. එනවා ද ? “

“ මොකක්.. හොල්මන් මන්දිරයක්.. අපෝ.. මේ කළුවර වැටීගෙන එන වෙලාවේ..  “

“ ඔව්.. “

“ අනේ මට බෑ.. මන් මේ දැන් ටිකකට කලිනුත් හොල්මනක් මිට් වෙලා එන ගමන්.. “

තවමත් මැකී නොගිය හිනාවත් එක්ක මන්දරා විහිළුවෙන් උත්තර දුන්නා.

“ හානේ.. ඇත්ත ද.. අන්කල් හොලමනක් ද කඩවසම් හොල්මනක් ද ? “

“කඩවසම් හොල්මනක් පෙනුමෙන් නම්.. කතා කරපුවා නම් ඇත්තටම වටේම තියෙන කඩවල් ටිකත් වහනවා.. “
ඈතට ඇවිදගෙන යන ගමන් මන්දරා උත්තර දුන්නා.. සෑහෙන වෙලාවක් හිතුමතේ වටේට ඇවිදලා ආයෙත් එද්දී ඔහු තවමත් එතැන. මේ පාර නම් කියක් ඇවිල්ලා වතුරට පැන්නත් හැරිලාවත් බලන්නේ නැහැ කියලා ද කොහෙද ඔලුව නවාගෙනම කුරුටු ගානවා. නාදුනන පැත්තක හිටින නිසාවෙන් නිදහස උපරිමයෙන් භුක්ති විද විද හිටපු මන්දරාට හිතුනේම ගිහින් අදින පැන්සල් පාර වල් වලට උඩින් එබිලා බලන්න. ඉතින් අකීකරු හිතත් එක්ක මන්දරා ඔහුට පිටිපස්සේ තිබුන මල් ගස් අස්සෙන් ගිහින් ටිකක් පිටිපස්සෙන් ඉදන් ඔලුවට උඩින් එබිලා බැලුවා. කදු අස්සෙන් ගොම්මන් කළුවරේ අවරට යන හිරු, බෝට්ටු ගෙදර.. ජල තලය ඒ හැම දෙයක් එහෙ මෙහෙ ගිය පැන්සල් ඉරි කටු සටහන් ගහලා. වස නපුරු මුණට මේ තරම් හොදට චිත්‍ර අදින්න පුළුවන් කියලා කවුද හිතුවේ.  කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා කියලා දැනිලා ද කොහෙද ඔහු අදින එක නතර කරා. ඊලග මොහොතේ ඔලුව හරවලා බැලුවේ මන්දරා දිහා.

“ ලස්සනයි. ඒකයි බැලුවේ.. “

පුදුමයෙන් වගේ නිහඩව මොහොතක් බලන් උන්නු ඔහු ඊලග මොහොතේ සිනා වුනා. වස නපුරු මුණාට ලස්සනට හිනා වෙන්නත් පුළුවන් ඒ කියන්නේ.

“  තැනක් යු.. මොකද පැනලා මැරෙන්න තැනක් හම්බවූනේ නැද්ද ? “

“ නෑ අෆ්ෆා.. අද මැරෙන්න බෑ වගේ.. කාලගුණේ හරි මදි.. ඒක නෙවෙයි ඔයා ඇයි ඕවා අදින්නේ.. “

“ ආසාවට මිසක් වෙන මොකට ද ? “

“ ආසාවට කරන්නේ චිත්‍ර අදින එක විතර ද ? “

“ අපෝ නැහැ.. තව සැහෙන දේවල් තියෙනවා..  හරියට මැරෙන්න යන මිනිස්සුගෙන් ලේක් එක බේරාගන්නවා වගේ.. “

“ ඔව්. අපි පැන්නාම ග්‍රෙගරි ලේක් එකට සෑහෙන්න රිදේවි නේ බරට.. “

“ ඒකනේ.. ලේක් එක පව්නේ.. ඔයා අහපු ප්‍රශ්නේට ඇත්ත උත්තරේ..  චිත්‍ර අදින්නේ හොටෙල් එකට.. “

“ හොටෙල් එකට ? හොටෙල් එකට මොකට ද චිත්‍ර ? “

“ ලස්සනට එල්ලන්න ළමයෝ.. වෙන මොකට ද.. මන් ලස්සන තැන් ටිකක් ඇදලා එයාලට ගිහින් දෙනවා.  එයාල මට ඒවාට සල්ලි දෙනවා.. “
“ හ්ම්ම්ම් හ්ම්ම්.. තේරුණා.. ඔයාට ලස්සනට අදින්න පුළුවන්.. “

“ වෙන්න ඇති. ඒක නෙවේ ඔයා මොකද මේ තනියම කරන්නේ.. “

“ නැහැ තනියම නෙවෙයි. අපි යාළුවො ටික ට්‍රිප් එකක් ආවා.. කට්ටිය ඇවිදිනවා.. මමත් ඉතින් තනියම රවුමක් ආවා.. “

“ ආආඅ.. ඒත් මේ රෑ වෙච්ච වෙලාවේ තනියම ඔහොම යන එක හරි ද ? “

“ ඇයි බිල්ලෝ අල්ලන් යනවා ද ? “

මන්දරා ආයෙත් ඔහුව විහිලුවට ගත්තා. මේ පාර නම් ඔහු මොකුත් කිව්වේ නැහැ.. හිනා වුනා මිසක්.. අෆ්ෆේ හිත ඇදිලා යන හිනාවක්.. මන්දරාට හිතුනේ එහෙම.

“ මන් යනවා.. යාළුවො බලන් ඇති ආපහු හොටෙල් එකට යන්නත් ඕනි නේ. .බායි.. “

“ හ්ම්ම්ම් .. සී යු.. “

නැවත හමු නොවන නමක් නොදන්නා ආගන්තුකයා එහෙම සමුදෙද්දී මන්දරා හිනා වෙලා එතනින් ආවා.. ආපහු හැරිලා බලන්න නොහිතුනා නෙවෙයි. ඒත් ඔහු බලන් උන්නොත් වස ලැජ්ජාව. ඒ නිසා ඇය බැලුවේ නැහැ..  
ඒ වෙද්දීත් හැම පැත්තෙන්ම කළුවර ඇවිදින්.. ග්‍රෙගරි වැව වටේටම පහන් එලි දල්වලා.. ඒ එළියෙන් උද්‍යානයෙන් එළියට ඇවිදින් දොරටුව ගාව කට්ටිය එනකම් ඉද්දි මන්දරාට දුරකථනයට ඇමතුමක්..

“ ඒයි චුටි නංගි.. “

ඒ මන්දරාගේ අයියා..

“ ආ.. “

“ කොහොමද ට්‍රිප් එක හොදද ? “

“ මරු.. “

“ ආඅ.. හිතට අල්ලලා වගේ නුවරඑළිය.. “

“ අනිවා.. “

“ උඹ එන්නේ කවදාද ? “

“ හෙට එනවා බන්.. නුවරඑළියේ හිත තියලා මන් හෙට කොළඹ එනවා.. “

“ මොන එහෙකට ද උඹ හිත ඔහේ තියලා එන්නේ.. ඇයි උස්සන් එන්න බර වැඩි වගේ ද ? “

“ ඔව් බන්.. සෑහෙන්න බර වැඩි.. හිත කියන්නෙම මෙහෙ දාලා යන්න බැහැ කියලා.. ඉතින් හිත තියලා එන්න වෙනවා.. “

“ ආආආ මොකක් ද බන් ඒ සීන් එක.. ඇයි උඹ ඔහේ කාට හරි හිත ලියලා දුන්නවත් ද ?  “

“ ඇවිත් කියන්නම්කෝ.. “

“ හෑ මොකක් ? අම්මපා..  ඒකත් එහෙමද එතකොට.. හාකෝ හාකෝ.. “

මන්දරා හිනා වේවිම දුරකථනය විසන්ධි කරා. පිළිතුරු වලින් බාගෙට බාගයක් ම අයියාව අවුස්සන්න කල විහිළු වුනත් ඒවායේ ඇත්තකුත් නැතුවා නෙවෙයි කියලා මන්දරා ට හිතුනා.. ඒ අර වස නපුරු මුණා හින්දාවත් ද ?

මන්දරා තනියම කළුවර ට හිනා වුනා. කෙටි හමුවීම් වලට කොයිතරම් නම් දේවල් කරන්න පුළුවන්ද ? නමක් ගමක් කාගේ කවුරු ද කියලා නොදන්නා මිනිස්සු එක්ක හිත ගනුදෙනු කරන්නේ ම නොසැලකිමත් ව. මන්දරාට එහෙමත් හිතුනා. ඒත් ඉතින් ඒ කෙටි හමුවීම ඇතුලේ තියෙන මතකය අමතක නොවෙන මිහිරි සොදුරු මතකයක්නේ මන්දරා.. හිතත් මන්දරාට එහෙම කෙදිරුවා. ආයෙත් දවසක කොහෙදි හරි හම්බ වේවි නේ.. මන්දරා කළුවරට මිමිණුවේ හෙමිහිට හිනාවෙමින්.


අරුණි කළුපහන





Sunday, March 12, 2017

කවිය ඔබ


කවිය ඔබ
ලියා නොලියා
අවසන් කල
කවිය ඔබ

කවි තනන්නට
අකුරු දී
ඒ අකුරින්ම
සිත රිදවා ගත්
පෙම්බර කවිය ඔබ

රිදෙන විට
හඩන්නට
හඩන විට
රිදවන්නට
කවි පද ලෙසින්
අවි ගෙන ආ
කවිය ඔබ

සියක් කැළැල් තුල
නිකැළැල්ව හිද
සිත් අදුරු කල
ආත්මයක් ගැන
ලියන්නට කියා
සිත විනාස කල
දඩබ්බර කවිය ඔබ

මා ඔබට ලියු කවිය
ඇයට හිමි කර දෙන්නට
කවි පේලියක් උදුරා
තව හිතක ඇලවූ
නමක් දිය නොහැකි
අසම්පුර්ණ කවිය ඔබ !

- අරුණි කළුපහන

Saturday, March 11, 2017

මතක මල් පෙති


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

කැම්පස් එකේ අරලියා මල් වැටුණු තාර පාර දිගේ ඩෙනිම් සාක්කු වලට අත් ඔබාගෙන ඔහේ ඇවිදගෙන යන ගමන් අනුරාධ හෙමිහිට මිමිනුවා. තවත් ජයසිරි අමරසේකර කෙනෙක්. මට හිතුනේ එහෙම. පාර අයිනේ සීමාව ලකුණු කරලා තියෙන ගල් වැටිය උඩ පියවර පිට පියවර තියෙන ගමන් මන් ඇහුම්කන් දුන්නේ ආසාවෙන්.. අනුරාධගේ කට හඩ තමයි මන් මේ ලෝකේ වැඩියෙන්ම ආස කරපු කට හඬ.. හොදම ගායකයෝ සියක් වුන්නත් මම පිස්සුවෙන් වගේ අනුරාධගේ කට හඬම තෝරා ගනීවී. ඒ තරම් ඒ කට හඩේ අමුතු වශියක් තිබුනා. සේපාලිකා මලයි මන් ආසම කරපු සින්දුව.. මන් කැමතිම සින්දුවයි අනුරාධගේ කට හඩයි. වෙන මොනවා ද ඉතින්.. මට හිතුනේ එහෙම.

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා

ඒ හරිය කියද්දී නම් මට මහා අමුත්තක් දැනුනා.. ඊලග පද පේලිය කියන්නේ නැතිව අනුරාධ මොහොතක විරාමයක් අරන් හිමිහිට පියවර මැන්නේ නිහඩව.

" ඇයි අනුරාධ.. "

මම ඇහුවේ පුදුමෙන් නම් නෙවෙයි. ඒත් සැකෙන්..

" මොකුත් නෑ.. "

අනුරාධ සිනාසෙන්න වෙර දැරුවේ අසීරුවට කියලා මට තේරුණා. ඒත් මම නොතේරුණා වගේ උන්නේ හිතලමයි. වෙන මොනවා කරන්න ද ?

" මොකුත් නැත්තම් අනිත් ටිකත් කියන්න.. මන් ආසයි අහන්න.. "


මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා..


“ ඇත්තටම මං නිසා  ද ? “

මම හයියෙන් හිනා වේවී විහිලුවට ඇහුවේ ඒත් ඔබ නිසා කියලා අනුරාධ කිව්වේ මගේ මුණ දිහාවේ බලාගෙන නිසා.

“ ඔව්.. ඔයා නිසා.. “

ඔහු කිව්වේ තාමත් අර හිනාවක් නැති මුනෙන්මයි. මන් ඒකටත් කරේ හොදටම හිනා වෙන එක. එතැන හිනා වෙන්න තරම් හේතුවක් නැහැ කියල මම නොදන්නවා නෙවේ..

“ ඔයා කොහොමද ඔහොම හිනා වෙන්නේ සාරදා.. “

“ ඇයි ඒ එහෙම ඇහුවේ.. “

“ වෙඩින් එකට දවස් කියද ? ඔයාට ඔහොම හිනා වෙන්න පුළුවන් ද ? “


මන් දන්නවා අනුරාධට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක කියලා.. ඒත් ? අනේ මන්දා.. හිනා නොවී අඩන්න ද ?

“  වෙඩින් එකට තව දවස් දෙකක්ම තියෙනවානේ අනුරාධ.. ඉතුරු ටිකත් කියන්නකෝ.. වෙන කතන්දර වැඩක් නැහැ. “

ගල් වැටිය උඩින් බැහැලා මන් අරලිය ගහ යට වැටිච්ච අරලිය මල් එකතු කරන් පටන් ගත්තේ විසිරිච්ච හිතක් එක් තැන් කරන්න වෙර දරනවා වගේ කියලයි මම ගැන මටම හිතුනේ.


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි....

මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...

ඇසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා...


ඒ ගැඹුරු ආදරය පිරුණු හඬින් වේදනාවත් එකතු කරලා සින්දුව කියලා ඉවර වෙද්දී මම තාමත් බිම බලාගෙන අරලියා මල් එකතු කරනවා. සින්දුව කියන්න මහා හුගක් වෙලා ගියාට මන් අරලිය මන් දහයක්වත් එකතු කරලා තිබුනේ නැහැ.

ගහ මුල බිමට නැමී නැමී අරලිය මල් අහුලද්දී මගේ ඇස් වලින් සට සට ගාලා කදුළු කැට තණකොළ බිස්ස මතට වැටුනේ දුකට ද අසරණ කමට ද මට තේරෙන්නේ නැහැ.. ඒ කඳුළු අනුරාධ දැක්ක ද මං දන්නෙත් නැහැ. මන් දන්නේ මෙච්චරයි.  අනුරාධ ඒ සින්දුව මේ වෙලේ කිව්වේ මට කියලා වගේම සැබෑවටම එයා මට ආදරේ කරා කියලා විතරයි. ඇත්තටම මම දන්නේ එච්චරයි.

මම ගවුම් කරෙන් හෙමිහිට ඇස් පිහදගෙන බැලුවේ අනුරාධ දිහාවේ. අනුරාධ මට පිටුපාලා කැම්පස් එකේ ඈත අනන්තය දිහාවේ බලන් උන්නා. අනුරාධටත් නොදැනෙන්න මම එතනින් දුවලා ආවේ තවත් ඇඩෙයි කියන බයට.

නාරද බදින්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැති කමට කියලා මම වගේම අනුරාධත් හොදටෝම දැනගෙන හිටියා. හැබැයි එහෙමයි කියලා අනුරාධ මට ආදරේ කරනවා වගේම මමත් අනුරාධට ආදරේ කරනවා කියලා බොරු බලාපොරොත්තුවක් අනුරාධට දෙන්න මට ඕනි වුනේ නැහැ. මගේ ජිවිතේ මෙතනින් ඉවර වුනාට තවත් කෙනෙක්ට විදවන්න ඉඩ තියන්නේ කොහොමද මන්..

කැම්පස් එක ඉස්සරහින් ත්‍රිවිල් එකට නැග ගත්තු මං කිරුළපන දිහාවට යද්දී ගම්සභා හන්දියේ දී ආව පණිවිඩය අනුරාධගෙන්.

“මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා... “

ඒ අනුරාධ.. සින්දුව එහෙම අකුරු කරලා එවල තිබුනේ අනුරාධ ම තමයි.

“ සින්දුව කිව්වා මදි කියලා හිත කියන නිසා ද අනුරාධ ලියලා එවන්න හිතුවේ “

සිනා යන මුඩ් එකකුත් එකතු කරලා මම එහෙම උත්තර යැව්වා..


“ ඔයාට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ වගේම තමයි මට මේ සින්දුව කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.. කඳුළු තියෙන්නේ අඩන්න තමයි සාරදා.. හැබැයි දැන දැනම පැරදිලා අඩන්න නෙවෙයි. අමාරුවෙන් හරි දිනලා සතුටට අඩන්න.. “

අනුරාධ එහෙම එවලා තිබුනත් මම මොකුත් පිළිතුරක් නොයවා හිටියේ හිතලමයි. ඒ වෙනුවට ෆේස්බුක් ලොග් වෙලා මම කරේ ස්ටේටස් එකක් දාපු එක.

ඒ ජයසිරි අමරසේකර කියන ඔර්ජිනල් සින්දුව යු ටියුබ් එකෙන් හොයලා

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි... <3

කියලා ටයිප් කරලා පෝස්ට් කරේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසාමයි. අනුරාධ එකට ලයික් කරලා තිබුනත් හැබැයි මොකුත්ම කියලා නම් තිබුනේ නැහැ.

“ කවදාහරි උඹලා ජිවිතේ ඇන ගන්නේ මුණට කියන්න ඕනි දේවල් පේන්න විතරක් ෆේස්බුක් එකේ කොටන්න ගිහින් තමා. ඕවා කතා කරල විසදගත්තා නම් කොයිතරම් දෙයක් ද කියලා උබලට තේරෙයි දවසක.. “

ප්‍රියංවදා දවසක් අනුරාධයි මමයි දෙන්නම ඉන්න තැනක හින්ට් එකට වගේ කියාගෙන ගියෙත් අපි දෙන්නට. හැබැයි ඒ වෙලෙත් අපි දෙන්නම ගොළුවෝ බිරෝ වගේ සද්ද නැතිව වුන්නා. හරියට අපිට නෙවේ කිව්වේ වගේ.  

ආදරේ කියන්නේ කටින් කියලා අයිති කරගන්නම ඕනි දෙයක් යෑ.. ඕක හිතේ තිබ්බා කියලා හෙන ගහනවා යෑ..

මට එදා හිතුනේ එහෙම. හැබැයි ඒ හිතෙන දේවල් ඒ දවස් වල වුනත් මම වචනයෙන් නම් කියන්න ගියේ නැහැ.

“ උඹට පිස්සු ද සාරදා.. “

එකපාර මැසේජ්ර් එකට ආව පණිවිඩය නාරදගෙන්.

“ ඇයි “

මම රිපල්යි කරේ පුදුමයෙන්.

“ දවස් දෙකකින් කසාද බදින්න ඉන්න ගෑනියෙක් වෙලා නහින් අඩන සින්දු ෂෙයාර් කරන්නේ මගුල ට ද ? මිනිස්සු මොනවා නොකියයි ද “

නාරද ගේ භාෂාව එහෙමයි. පුදුම වෙන්න දෙයකුත් නැහැ එකේ.

“ මම ගෑනියෙක් නෙවෙයි නාරද.. මම කෙල්ලෙක්.. වැදගත් විදියට කතා කරන්න. රටේ ලෝකේ මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.. විකාර හිතන්න  “

මම එහෙම කියලා ඕෆ්ලයින් ආවා. ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි මම මගේ හිතටම මෙහෙම කිව්වේ ඈතින් කළු කරගෙන එන වැහි වලාකුළු දිහාවේ බලාගෙන.

“ ෆේස්බුක් ස්ටේටස් එකටත් නීති රීති දාන මිනිහෙක්. උඹගේ ජිවිතේ හරි අපුරුවටම තියෙයි සාරදා.. “
මට මහා ආත්මානුකම්පාවක් දැනුණා.

-          අරුණි කළුපහන






Saturday, January 28, 2017

මල් ආත්ම :)


" ගැහැණු කැමති හුදකලාවට "

මල් විසිරුණු බෝගන්විලා ගස් හෙවණ යට තිබුන ගල් බංකුවේ ඉදගෙන මන් කිව්වා. ඒ ගල් බංකුව තිබුනේ අපේ ගෙදර මිදුලේ කෙලවරක.

" හැම ගෑනිම නෙවෙයි. හුදකලාවට වෛර කරන ගැහැණුත් ඉන්නවා. ඕවා විකාර කතා සාරදා. ඇත්තටම මන් හුදකලාවට ආසයි ගාගෙන හැම තිස්සෙම කොහේ හරි අස්සකට වෙලා රිංගන මන් දන්න එකම ගෑනිත් ඔයා.  ඕක මට නම් පිස්සුවක්..  " 

ඔහු කිව්වේ ඔලුවට වැටිච්ච බෝගන්විලා මලක් කෝපයෙන් ඇදලා පොඩි කරලා බිමට විසික් කරන ගමන්.

" ඒක පිස්සුවක් නෙවෙයි නාරද. ජීවිතය විදින්න පුළුවන් හුදකලා වෙන තරමට.. "

" එතකොට ඔය අහුමුලු වලට රිංගන් කළුවරේ ලියන එකෙන් ඔයා කරන්නේ ඔය ජීවිතය විදින එක ද ? "

" ඔයාට මාව පෙන්නේ එහෙම ද නාරද ? මන් කැමති තනියම මගේ පාඩුවේ ඉන්න තමයි. හැබැයි මන් ඉන්නේ කළුවරේ නම් නෙවෙයි. "

" අප්‍රබංස කියන්න එපා සාරදා.. මන් යනවා. මට මිටින් එකක් තියෙනවා තව ටිකකින්.. "

" කාත් එක්ක ද ? "

" මිනිස්ටර් එක්ක.. අලුත් බිස්නස් එකේ වැඩ වගයක් ඩිස්කස් කරන්න තියෙනවා. ඇයි ? "

" ඔයාට බිස්නස්, මිනිස්ටර්ලා එක්ක වැඩ, මිටින් හැර වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැද්ද නාරද ? "

" මේ වෙලාවේ මන් කැමති මේවා ගැන හිතන්න තමයි සාරදා. මොකද ඔයා කියන්න යන ජීවිතය විදින කෙහෙල්මල් ගැන හිතන්න පුළුවන් බිස්නස් වලින් ඈත් වෙලා ගෙදරට වෙලා රෙස්ට් කරන්න තරම් වයසකට ආවම,. ඔයාත් දැන් ඉදන්ම ඔය මල විකාර වලින් ඈත් වෙලා කසාදෙ වැඩ වලට ලැස්ති උනොත් හොදයි.. "

" අමුතුවෙන් ලැස්ති වෙන්න දෙයක් නැහැ නේ නාරද.. අම්මලා ඔක්කොම ලැස්ති කරනවනේ. අනික wedding ප්ලෑනින් කරන අයත් ඉන්නවනේ. මන් ඊයෙත් ඔයාලගේ අම්මා එක්ක ගියා ඒ වැඩ වලට "

" ඒ උනාට ඔයාගේ උනන්දුව මදි කියලා අපේ අම්ම ඊයේ මට කිව්වා. ඔය පොත් පත්තර ලියන කියන වැඩ වලින් අයින් වෙලා මගේ වයිෆ් වෙන්න දැන් ඉදන්ම ලැස්ති වෙන්න. මොකද මගේ බිස්නස් වලට සපෝර්ට් කරන ගෙදර දොරේ වැඩ ටික කරන වයිෆ් කෙනෙක් මිසක්. මට ඔය පොත් අස්සේ රිංගන් හුදකලාව හොයන ගෑනියෙක් ඕනි නැහැ. "

නාරද කිව්වේ කාර් එකේ යතුරත් අරගෙන ගල් බංකුවෙන් නැගිටින ගමන්.

" එහෙනම් ඉතින් ඔයාට තියෙන්නේ ගෙදර දොරේ වැඩ කරන්න. ස්ර්වර්න්ට් කෙනෙකුයි සෙකට්‍රි කෙනෙකුයි ගන්නනේ. මොකටද මාව බදින්නේ.. "

කියලා මට අහන්න හිතුනත් මම එහෙම ඇහුවේ නැහැ. මන් සද්ද නැතිව ම නාරද යන දිහාවේ බලන් උන්නා. මොකද තර්ක කරන්න පුළුවන් එහෙමත් මිනිහෙක් එක්ක. නාරද එක්ක තර්ක කරලා වැඩක් නැහැ.

“ පුතේ, නාරද ගියාද ? “

නාරදගේ කාර් එක යන සද්දේ ඇහිලාද කොහෙද තාත්තා එලියට ඇවිදින්. තාත්තා නාරදව මග අරින බව මන් දන්නවා. තාත්තාට වැරද්දක් කියන්නත් බැහැ. මගේ දුක්ගන්නාරාළ වුණ තාත්තා මගේ හිත ගැන වගේම නාරදගේ හැටි ගැනත් හොදටම දැනන් උන්නා. නාරදට මවා ගත්ත බොරු හිනාවකින් කතා කරන්න අකැමතිකමට තාත්තා නාරද ඉන්න වෙලාවට කෑම කාමරේට වෙලා පත්තරයක් බලන්න පුරුදු වෙලා හිටියා.

“ හ්ම්ම්ම්.. “

“ මොකද දරුවෝ.. නාරද මොනවද කියන්නේ.. “

“ මොනවා කියන්න ද තාත්තේ.. හැමදාම වගේ බිස්නස් වල ගැන තමයි. වෙඩින් එකට ලැස්ති වෙන්න ලු. එයාගේ යටහත් පහත් සේවක බිරිද වෙන්න කියලා තමයි නොකියා ඉන්නේ. “

“ හ්ම්ම්.. “

තාත්තා බිම වැටුණු බෝගන්විලා මලක් අහුලාගෙන ගල් මෙසේ උඩින් තිබ්බා. කොළ පාට ගල් මේසෙට රෝස පාට බෝගන්විලා මල් ගෙනාවේ අමුතු ලස්සනක්.

“ ඇයි තාත්තා.. අම්මා මට එහෙම කරන්නේ.. “

“ ඇයි දරුවෝ.. “

“ නාරද එක්ක මට සතුටින් ඉන්න බැරි බව දැන දැනත් ඇයි අම්මා හිතන්නේ නාරද බැන්දායින් පස්සේ වෙනස් වෙයි කියලා. නාරද එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි තාත්තා.. එහෙනම් නාරදගේ දෙමව්පියෝත් වෙනස් වෙන්න එපැයි නේද.. “

“ ඊයේ මොකද උනේ ? “

“ මොනවා වෙන්න ද.. නාරදලාගේ අම්මා එක්ක හෝම් කමින් සාරි එක බලන්න ගියා. තව හොටෙල් එකටත් ගියා. අනේ මන්දා තාත්තේ එයාලගේ පම්පෝරිය තමයි.. ලගදී හොටෙල් එකක අයිතිකාරයෝ වුනාට කතා කරන්නේ අවුරුදු 100ක් තිස්සේ හෝටල් කරා වගේ. “

මං කිව්වේ ඇත්තට ම කළකිරීමකින්.

“ අම්මා ඔයාව අමාරුවේ දාන්න හිතාගෙන නෙවෙයි නේ පුතේ මේ කසාදෙ කරන්නේ.. ඒ දවස් වල ඔයාගෙන් මේ කසාදෙට කැමත්ත අකමැත්ත අහද්දී ඔයා කරේ අනේ මන්දා කියල නිහඩව උන්න එක. ඒක එයා ඔයාගේ කැමත්ත විදියට හිතුවා. මොකද ඔයාට කියලා වෙන සම්බන්ධකම් තිබුනෙත් නැහැ නේ. නාරද මේ ගෙදරට එද්දී යද්දී උනත් ඔයා හිනා වෙලා කතා බහ කරානේ. “

“ ඒ හිතවත්කමට කියලා තාත්තා හොදටම දන්නවනේ. නාරද මේ ගෙදරට ආවේ ගියෙත් සයන්ස් ක්ලාස් එකට නේ. සයන්ස් උගන්වන්න මාවයි නාරදටයි ගෘප් ක්ලාස් එකක් දාන්න ඕනි කියලා නාරද මෙහෙට එව්වෙත් නාරදගේ අම්මමනේ තාත්තේ. “

“ ඒක හරි.. ඒත් ඒ හැම දෙයක්ම එහෙම තියෙද්දී කවදාවත් නාරද ව එපා කියලා කෙලින්ම නැහැ නේ දරුවෝ.. මන් දන්නවා හිතෙන ඔයා අකමැත්තෙන් හිටපු බව. රටේ ලෝකේ කොච්චර රැඩිකල් කතා කිව්වත් වැඩක් නැහැ දරුවෝ. තමන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනි වෙලාවේ දී ඒ රැඩිකල්කමවත් ප්‍රයෝජනෙට ගත්තේ නැතිනම්.. “

“ ඒත් මන් පහුවෙලා හරි ඒ ගැන අම්මට කිව්වනේ තාත්තේ.. වෙඩින් එකට මාස හතරක් පහක් තියලා කිව්වට වැඩක් නැහැ කියල මන් දන්නවා. ඒත්.. “

“ සාරදා.. ඔයාට අත උස්සපු හැම වෙලාවකම ඔයා ඉවසන් උන්නා සද්ද නැතිව ම. ඔයා අඩු තරමේ ඔයාට මෙච්චර ආදරේ කරන ඔයාගේ තාත්තාටවත් කිව්වා ද ? තාත්තේ නාරද මට පොඩ්ඩ බැරිවෙද්දී ගහනවා කියල.. නැහැ පුතේ.. ඔයා කිව්වේ අම්මා ට.. අම්ම හිතුවේ හැමදේටම නිහඩව ඉදලා ඔයාලට විසදගන්න දෙන එක හොදයි කියලා. එයාවත් මට කිව්වේ නැහැ. මන් කලබල වෙන හින්දා.  ඊට පස්සේ ඔයාම දවසක අඩාගෙන දුවගෙන ඇවිත් කියනවා අනේ තාත්තේ මාව බේරගන්න මේ කසාදෙන් කියලා.. ඒත් වෙඩින් එකට මාස 6ක් තියලා.. ඒකත් කමක් නැහැ කියලා දෙකින් එකක් බේරන්න ඒ ගෙදරට යන්න යද්දී ඔයාම නේද  ආයේ කිව්වේ කමක් නැහැ තාත්තේ නාරද ව මන් බදින්නම් කියලා. රණ්ඩු කරාට නාරද මට ආදරෙයි.. ඒ නිසා මොකුත් කියන්න එපා කියලා.. දැන් ඇයි දරුවෝ මේ ආයේ එහෙට මෙහෙට අදින්නේ.. මොකක්ද මේ වල තේරුම..  “

“ හ්ම්ම්ම් “

මේ කසාදෙ නොකෙරුනොත් නාරදව මාව මරනවා කියලා මන් කොහොමද තාත්තට කියන්නේ. නාරද කිව්වා වගේම ඒ දේත් කරනවා කියලා මන් දන්නවා. කසාද බදින්න බැහැ කියලා කිව්ව හැම වෙලාවේම උනේ නාරදගෙන් ගුටි කන්න කියලා මන් කොහොමද කියන්නේ. මේ කසාදෙ නොකෙරුනොත් තාත්තයි නාරදගේ තාත්තයි එකතු වෙලා පටන් ගත්තු බිස්නස් වැටෙනවා කියලා දැනගෙන මන් කොහොමද ඕවා කියන්නේ දැන්.  බිස්නස් එක තාත්තාගේ ජිවිතේ වගේ. හැබැයි එයා අනිත් හැමෝගෙන්ම වෙනස් උනේ. තාත්ත බිස්නස් එකට වැඩිය ගෙදරට මිනිසුන්ට ආදරේ කරපු නිසා. ඒත් අනිත් අයට සල්ලි හම්බවෙද්දී මනුස්සකම අමතක වුනා.

“ සාරදා.. “

“ ඇයි තාත්තේ.. “

“ මට මේක කියන්න.. ඔයා කාට හරි ආදරේ කරනවා ද ? “


“ නැහැ තාත්තා.. “

“ එහෙනම් කවුරු හරි හිතේ ඉන්නවා ද? “

“ දන්නේ නැහැ.. දන්නා තරමට හිතට එච්චර ලග කෙනෙක් නැහැ.. අනේ මන්දා.. හැබැයි මට නාරදව නම් එපා.. “

“ එහෙනම් මේ කසාදෙ නතර කරමු.. වැඩේ ඉවරයි නේ.. මොකද කසාදෙ නතර කෙරුවා කියලා වෙඩිසිංහගෙයි මගෙයි බිස්නස් වලට මහා ලොකු අලාභයක් වෙන්නේ නැහැ. “

“ ඒත් නාරද මේ කසාදෙ නතර කරනවාට කැමති නැහැ නේ තාත්තේ.. “

“ ඌගෙ කැමැත්තෙන් මට වැඩක් නැහැ. මම නාරදගේ තාත්තා එක්ක කතා කරන්නම්.. “

“ එපා තාත්තේ. වෙඩිසිංහ අන්කල් උනත් මුලින්ම හිතන්නේ නාරද ගැන. මං තව ටිකක් හිතලා කියන්නම් තාත්තාට.. “

“ එපා කියනවා. බදින්නම් කියනවා.මොනවද තේරුම.. හැමදාම ඔයා ඔහොම හිත හිතා ඉන්න.. අන්තිමට හිතල හිතල නුල් බෝලයක් වගේ පැටලුනු දාට හැමදේම ලිහලා පිළිවලක් කරන්න අමාරුයි කියලත් තේරුම් ගනින්.. “

තාත්තාත් එහෙම කියාගෙන යන්න ගියා. අද බෝගන්විලා ගහ යටට එන හැමෝම යන්නේ කේන්තියෙන්. බෝගන්විලා මල් නම් මට වැඩිය නිදහසේ ජිවත් වෙනව් . පිපිලා ටික දවසක් ලෝකේ ලස්සන කරලා පර වෙලා යනවා. කොච්චර ලෝකේ ලස්සන කරත් බිමට වැටුණු දවසක තමන් ව මිනිස්සු පාගනවා කියලවත් හිතෙන්නේ නැතිව ඔහේ ඉන්නවා.

බෝගන්විලා මලක් වගේ වෙන්න තිබුනා නම් කොච්චර හොදද.. ඊටත් වඩා බෝගන්විලා ගහට කතා කරන්න පුළුවන් උනා නම් කොච්චර හොදද.. අම්මගේ යාළුවගේ පුතා වෙච්ච නාරද ගැන බෝගන්විලා ගහත් මන් තරමට දන්නවා. කතා කරන්න බැරි උනත්.  බෝගන්විලා ගහට කතා කරන්න පුළුවන් උනා නම් මට හැම දෙයක් ම එයා එක්ක  කියල උපදෙසක් ගන්න තිබ්බ.

“ එක අතකට ඔයා මොනවා කරන්න ද බෝගන්විලා .. හැමදේම අවුල් කරගත්තේ මම නේ. ඔයා හැමදේම හැම කතාවක් ම අහගෙන උන්නට ඔයාට ඒවාට ලෝකේ ඉස්සර සාක්ෂි දරන්න බැරිව අසරණ විත්තිය මන් දන්නවා.  එක අතකින් කොයි මිනිහව බැන්දාත් වෙන්නේ එකම දේ නේ. එයාගේ කීකරු බිරිද වෙලා පරම්පරාව ගෙනියන්න දරුවෝ වදලා හදලා දෙන එක නේ..  හැම දෙයක් ඉස්සර නිහඩව බලන් ඉදලා හෙමිහිට පැත්තට ගුලිගැහිලා ඇකිලීල යන එකනේ.. එහෙම නේද බෝගන්විලා..  ඔයාත් එහෙම නේද.. “

මම ඔහේ බෝගන්විලා ගහ එක්ක කියෙව්වා.. කවුරු හරි දැක්ක නම් මට පිස්සු කියල හිතාවි. ඉස්සර ඕලෙවල් කරද්දී මන් කරේ අම්මා හදලා දෙන මයිලෝ කිරි එකයි ඉගුරු බිස්කට් එකයි අරගෙන අරගෙන ඇවිත් බෝගන්විලා ගහ එක්ක හිතින් කියෝන එක. ඊට පස්සේ ගහ වටේම බිම වැටිලා තියෙන මල් ටික එකතු කරලා ගහ මුලට දාන එක. එතකොට එයාල ආයේ දවසක මල් ආත්ම වෙලා ගහ දිගේ උඩටම නැගලා ආයෙත් ලස්සනට පිපිලා හිනැහෙවී නේ.. මන් ඔය වගේ කතා අනුරාධ එක්ක කියවද්දී එයා කරේ මට හිනා වෙන එක. හැබැයි කොහොම හිනා උනත් එයා ඒ කතා අහන්න ආස කරා. ජපුරේ ඕපන් එකට තේ බොන්න යන හැම වෙලාවකම අනුරාධ මං කියෝන ඔය වගේ විකාර කතා අහන් උන්නා. හැබයි හිනා වේවි. වැඩියෙන් ම එයා හිනා උනේ මන් කියන කතන්දර වලට වැඩිය ඕපන් එකට යන පාර දිගේ වැටිලා තිබ්බ අරලිය මල් පෑගෙයි කියලා මන් උඩින් උඩින් අඩි තියෙන එකටයි. ඒ මල් අහුලලා ගස් මුලට දාන එකටයි..  හැබැයි කොච්චර හිනා උනත් එයත් මල් අහුලන්න මන් එක්ක එකතු උනා.

දැන් අහන්න එපා අනුරාධ කියන්නේ කවුද කියලා. මට මහන්සියි. මන් පස්සේ දවසක එයා ගැන ආයෙම ඩයරි එකේ ලියන්නම්කො. 




Thursday, January 12, 2017

මායම්කාර කිවිදිය මම

" කවි කියන්නේ විකාරයක්
මායම්කාර ගෑනුන්ට
කවියක් කියන්නේම
පිරිමි හිත් රිද්දන
අමාරුවේ දාන පොටක් "

අවේලාවේ ලියවෙන
ඔබේ හිත ගස්සන
ටිකක් සැරට වැදෙන
මම ඔබට ලියන
කවි ගැන ඔබ කියන්නේ එහෙම

" කවියක් කියන්නේම වන්දනාවක්
ප්‍රේමයෙන් උපදින රිදුමක්
පිරිමි හිතකට පුද දෙන තත්පරයක්,
කවියක් කියන්නේම
ගැහැණියකගේ වේදනාව
මුතු බෙල්ලෙකුගේ කදුලූ කැට
එකිනෙක හමුවන මොහොතක් "

ඔබ අකැමැත්තෙන් කියවන
ඔබ ගැන ලියවෙතැයි
ඔබ තුන් තිස් පැයේ බිය වෙන
නමුත් ඔබටම ලියන
කවි ගැන මම කියන්නේ එහෙම

" කිවිදියකට පෙම් කිරිම
ඉවරයක් නැති කරුමයක්
මුණට නොකියන වචන
කවි අතරින් පෙනෙනකොට
මට දැන් හරි විකාරයක්

රෑ දෙගොඩ යාමේ
ඔබ ලියන වචන ගැන
හෙවිල්ලේන් ඉදලාම
නැහැ මට හරි නින්දක් "

කවියක් අස්සේ රහසින්
ලෝකෙන් හංගපු ආදරයක්
අහසට ඉගිලෙතැයි බියකින්
අවලාද නගමින්
රෑ මැදියමේ මතුරන
ලියන ලියවෙන කවි කියවා
මඳ සිනා නගන පින්තාරුවක්.

" වැඩි කලක් ඔබ ගැනම
නොලියන කවියක් ගැන
ඇයි ඔබ වදවෙන්නේ ඔහොම
මැරෙන උපදින හිතක් ලග
නික්මීම ද අත වනන වග
ඔබ දන්නෙ නැති එකයි පුදුම  "

ඔව්! කිවිදියක් කියන්නේම
මායම්කාර ගැහැණියක්
ඔබ නොදන්නවට
කිවිදියක් කියන්නේම
සාපලත් ජිවිතයක්
වේදනා කදුලක්
නෙතගින් පිසදා
මද සිනහා උපද්දන
සිතුවමක් !

කළු ගලක් යට
හුස්ම හිරවුණු
මහා මෙරක් බර හදවතක්..

#AK



Tuesday, January 3, 2017

හීන ඇහිදින හුළග


මාධ්‍යවේදී ජිවිතයට අව්ව, වැස්ස, රජයේ නිවාඩු, නත්තල්, අවුරුදු කියලා වෙනසක් නැහැ, කොහේ හිටියත් හැමදාම ඊලග දවසේ පත්තරේ කරන්න අපි කන්තෝරුවට එනවා.

ජනවාරි මාසේ පළමුවෙනිදා කියන්නේ ඉරිදා දවසක් වුණත් පුරුදු විදියට " මව්බිම " ට එද්දී බස් එක දෙමටගොඩ බෝ ගහ ගාව නැවතුනේ කලර් ලයිට් එක තව තත්පර 54ක් නැවතිලා ඉන්න කියලා සංඥා කරපු හින්දා. තත්පර 54ක් උනත් කාලය නාස්ති වෙනවනේ හැගීමෙන් මම ජනේලයෙන් එළිය බැලුවා.


ජනවාරි පළවෙනිදා නිසාද මන්දා පාරේ යාචකයන් දැක්කේ හරිම අඩුවෙන්. බෝ ගහ ගාව පාරේ අනිත් පැත්තේ සිගමන් යදින පුද්ගලයෙක් උන්නා. බොහොම වයසක තත්තා කෙනෙක්.

ඉරි ගිය සරමට, ප්‍රමාණයටත් වැඩි ලොකු කමිසය ඒ වයසක පුද්ගලයාට ගෙනාවේ තවත් අසරණ පෙනුමක්. පාරේ යන එන අයගෙන් අත පාලා කිය කිය හරි ඉල්ලපු ඔහු කළු ඉටි බෑග් එක දරා ගත්තු අනිත් අතින් දෑසෙන් කඩා හැලුණු කඳුළු පිස දැම්මේ ලෝකෙටම රහසින්. ඔහු රහසේ පිස දැම්ම කඳුළු විතරක් නෙවෙයි, වෙවුලන දෑතින් ඔහු සිගමන් ඉල්ලු වගවත් සමහරුන්ගේ ඇහැ ගැටුනේ නැහැ.

තමන්ගේ එදිනෙදා රාජකාරි අතරේ කාර්යබහුල මිනිසුන්ට ඔහුව නොපෙනීමේ ඒ හැටි පුදුමයකුත් නැහැ. නමුත් සමහර ඇස් ඔහුව මග හැරියේ වුවමනාවෙන් මයි. පාරේ සිටින සිගමන බිස්නස් එකක් කරගත්තු ව්‍යාජ යාචකයන් නිසාවෙන්. දැන් කාලේ කවුරුවත් විශ්වාස කරන්න බැරි බව ඇත්ත. නමුත් එවන් ජිවිත අතරේ කරකියා ගන්න දෙයක් නැතිකමට, දෑතේ වැඩක්වත් වෙහෙසී කරන්නට වාරුවක් නැතිකමට, එහෙමත් නැති නම් තමන් ආදරෙන් උස්මහත් කරපු දරුවන් පාරට ඇදලා දැම්මා නිසාවට කුස පුරවා ගන්නා කියක් හරි ඉල්ලා ගන්න හිතාගෙන පාරට බහින ජිවිත අපි නොදැක්කාට මහා පාරේ ඉන්නවා.

රුපියල් විස්ස, තිහ දාලා දවස හරියන්න කියලා දෙවියන්ට පාගා දෙනවට වැඩියෙන් යාචකයෙක්ට ඒ කිය හරි දෙන්න පුළුවන් නම් ඒක පිනක්. දුන්නයින් එහාට කවදාවත් හිතන්න එපා. ඒ සල්ලිවලින් ඔවුන් මොනවා කෑවත් බිව්වත් ඒ ඔවුන්ගේ රුචිකත්වය. ඔවුන්ගේ ආසාව.

සමහර විටෙක ඔබ නොදැනුවත්ව ඔබ අසරණ පවුලක කුසගිනි නිවාවී. රෝගියෙක් සුවපත් කරාවි. එහෙමති නැතිනම් නොදන්නා පුංචි දරුවෙකුට පාට පැන්සල් පෙට්ටියක් ගැනීමේ හීනේ සැබෑ කරාවි.

කවුරුත් තියෙන නිසාවෙන් සිගමන් යදින්න එන්නේ නැහැ. තමන්ගේ තියෙන දුප්පත්කමට පාරට බහිනවා මිසක්. ඔබට පුළුවන් නම් හැමදාම නෙවෙයි. ඒත් පුළුවන් විදියට ඒ ජිවිත ගැනත් හිතන්න.

ඒ වගේම දුන්නු දේ ට ඒ අය මොනවා කරාවි ද කියලා මහා හුගක් හිතන්න එපා. දුන් දේ සුවදයි කියනවනේ. පුළුවන් හැටියට තවත් කෙනෙක්ට උදව් කරලා අසරණ ජිවිත ආලෝකවත් කරන්න හයියක් වෙන්න. ආත්ම තෘප්තිය විතරක් තියාගෙන ජීවිතය ඉස්සරහට අරන් යමු.

හිතේ සතුට මුතු මැණික් රත්රන් වලට වඩා බොහොම වටිනවා.

සුබ නව වසරක් වේවා.