Wednesday, March 5, 2014

Needy Readers අපි මන්නාරම් අහස යට...


“ 
පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිවසීමාවක්ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “

                                   -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 


        ගෙවෙන නවම් මහේ පසුගිය
 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතානපෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය.
        අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

     මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්
  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය.
     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙනගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි.
    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

      සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (
International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි.

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 
      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.
   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 
     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 
   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 
    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 
තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 
     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.
     ජීවිතය ඇත්තේ ආගම් බේද ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 
  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -    




Saturday, February 1, 2014

_ දුවිලි සුවද _


ඉස්සර මං පුංචි කාලේ අපේ ගෙවල් වලට යන්න තිබුනේ ගුරු පාරක්... ඒ ගුරු පාර අපේ ගෙවල් පහු කරගෙන තව ගොඩක් දුර ගියා. තවත් අයගේ ගෙවල් වලට පාර කිය කියා...

ඒ දවස් වල ඒ ගුරු පාර දෙපැත්තේම එක එක ජාතියේ මහා ගස් ගුරු පාරට සෙවණ දීගෙන හිටගෙන උන්නා. ඒ සමහර ගස් වලින් වැටුණු හුලං කුරුල්ලෝ ගුරු පාර පුරාම තිබුණා.. ඉස්සර පුංචි කාලේ මගේ එකම ආසාව උනේ හුලං කුරුල්ලෝ අහුලන එක.. හුලං කුරුල්ලාව අහසට විසි කරාම කැරකිලා කැරකිලා  ආයෙම පහලට එන එක බලන තරම් ආසාවක් මට වෙන තිබුනේ නෑ..

ඉස්සර ඉස්කෝලේ යන සිසුසැරිය සීටිබි බස් එක එන්නේ ඔය ඔය ගුරු පාර පටන් ගන්න තැනට... ඉතින් එතැනට අපේ ගෙදර ඉදන් ගෙවල් තුන හතරක දුර යන්න ඕනා.. ඒ යන ටික යන්න අනිත් අය විනාඩි තුන හතරක් ගත්තාට මට විනාඩි 10 කට වඩා ගියා..

මොකද මට ඕනේ වුනේ නෑ පුංචි ගුරු පාරේ වගේම අවට පරිසරයේ තියෙන එක දෙයක් වත් මග හැර ගන්න..

පුංචි මං ඒ පාරේ තිබුණු සමහර දේවල් වලට නොසෑහෙන්න ආදරේ කරා.

ඒවායින් එකක් තමා දුවිලි සුවද... කාෂ්ටක අව්වට පිච්චි පිච්චි කරවුණු මහා පොලවට හවස් වෙද්දී එක දෙක වැහි බින්දු  වැටෙද්දී ගුරු පාරේ බොරළු කැට වලට මුසු වුනු වැහි සීතලත් එක්ක නැගෙන දුවිලි සුවදට අවුරුදු පහ හයක පුංචි එකෙක් වෙලත් මං ආදරේ කළා..

වැහි කාලේට ගුරු පාර දෙපැත්තේ ගුරු පාරයි වත්තේ මායිමයි වෙන් වෙන තැන පස් ටිකක් අයින් කරලා හදපු කාණු වැහි වතුරෙන් පිරිලා ගලන් යන කොට තැනින් තැන තියෙන පුංචි වැව් පොකුණු වලින් පැනගෙන එන මාළු පැටව්, ඒ අස්සෙන් රිංගන පුංචි ඉස්ගෙඩි අල්ලන්න පොල් කට්ටක් අරන් වතුරට බැහැලා පුංචි මාළු පැටියෙක් ඉස්ගෙඩි යෙක් පොල්කට්ටට දාගෙන තියන් ඉදන් අයිති කර ආසා වුනත් උන්ගේ පවුලෙන් උදුරා ගන්න බැරි දුක ලපටි හිතට දැනුනු නිසා ආයෙම වතුරට දාපු අතීතයක් තිබුණා..

හැම වැහි කාලෙකම මාළු පටවුන්ටයි , දුවිලි සුවදටයි ආදරේ කළා වගේම කාෂ්ටකයෙදී ගතයි හිතයි පුච්චලා දාන්න හදන අකීකරු අව් සැරටයි නපුරු කාෂ්ටක හුලගයි එක්ක තරහා වෙන්න තරම් නපුරු කමකුත් මගේ ලපටි හිත් කොනක තිබුණා..

අපේ ගුරු පාරට මම පුංචි කාලේ කවුරුත් කිව්වේ දෙවැට පාර කියලා.. ඒ දෙවැට පාර දිගේ උඩ පැන පැන නට නටා හිතත් එක්ක දොඩමලු වේවි  අවුරුදු දහ තුනක්ම ඉස්කෝලේ ගියා.. ඒ කාලේ පුංචියට තිබුණු ගස් මාත් එක්කම ටික ටික ලොකු උනා. සමහර ලොකු ගස් අනිත් පුංචි ගස් වලට ඉඩ දීලා යන්නම ගියා..  ගුරු පාර දිගට ඉස්සර මං පුංචි කාලේ වැටිලා තිබුණු සුළං කුරුල්ලෝ වෙනුවට ටික ටික කල් යද්දී මුළු ගුරු පාර ම මැයි මල් වලින් වැහිලා ගියා. සමහර කාල වලට ඇහැල මල්..  තවත් කාල වලට අරලියා මල්..

ඒ කොහොම වුනත් ඒ කාලේ තිබුණු මාත් එක්ක දොඩමලු වුනු ඒ ගස් දැන් ගොඩක් වියපත්.. . තව ටික කාලෙකින් එයාලත් යන්න යාවි. හරියට ගුරු අනිත් අය කිව්වා විදියට දෙවැට පාර, තාර පාරක් වුනා වගේ..

ඉස්සර ගස් වල අතු රැහලා, ඒවායින් හදලා තිබුණු වැට මායිම් නැති වෙලා කොන්ක්‍රීට් කොට ගමට ආවා වගේ..

දන්න දා ඉදලා හිතත් එක්ක දොඩමලු වුනු ගහකොළ, මාළු පැටව්, ගුරු පාර, දුවිලි සුවද කාලෙත් එක්ක ටිකෙන් ටික නොකියාම හැංගිලා ගියා වගේ..

 ඒ කාලේ නොසෑහෙන්න මම ආදරේ කරපු මට ආදරේ කරපු ඒ ගුරු පාර අද අවුරුදු දහ නවයක් කෙල්ලක් වෙලා මම එද්දී අද මට හුමිටි තියන්නේ නැති තරමට නිහඩ වෙලා..

ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී පන්ති , පාසැල් වැඩ ඒ හැම දෙයක් අස්සේ ඔරලෝසුවටත් වඩා ඉක්මනට කඩිමුඩියේ දුවපු කාලේ ගුරු පාර ගැන මගේ අවදානේ ගිලිහුණු කාලේ ගුරු පාරත් ටිකෙන් ටික සමුඅරගෙන..

සිමා මායිම් නැතිව හිත් පුරාවටම ආදරේ කරපු ගුරු පාර, මාළු පැටව්, දුවිලි සුවද ආයෙත් පෙරලා , සිමා මායිම්, බන්දන නැතිව මට ආදරේ කරපු හැටි..  ඒ ආදරෙන් එක මොහොතක් හරි අසරණ වෙන්න නොදී පුංචි හුලගකින්, වැහි බිංදුවකින් මගේ ලපටි හිත සනසපු හැටි..

ඒ හැම දෙයක්ම කාලය හොරා ගෙන ගිහින්.. හදවත අස්සෙයි කොලයක් අස්සෙයි ලියා ගෙන හිර කර ගත්තු සිමා මායිමක කදුළු ගල් වුනු ලෝකේක මැරී මැරී උපදිනවාට වඩා කවදාවත්ම ලොකු වෙන්නේ නැතිව හුලං කුරුල්ලෝ එක්කම ඉන්න තිබුණා නම්....


Sunday, May 19, 2013

නුඹේ මළගම දා නොදන්න අකුරින් ලියු පෙම් කවිය


 " නිසලි, අලුතින් ලියපු කවි එහෙම නැද්ද ? " කියාගෙන ඔහු හැම සති අන්තයකම මගෙන් විමසද්දී ඔහුගේ දෝතට අලුත් කවියක් දෙන එක මට කල් යද්දී අමතක කරන්න බැරි උනා. එත් මට හැමදාම තිබුණු කුතුහලය ඔහුට දිග හරිද්දී ඔහු කිවුවේ මම ආසයි ඔයා කවිකාරියෙක් වෙනවාට කියලා. ආයෙත් දවසක ඔහුගෙන් ඒ ඇයි කියලා අහද්දී ඔහු කිවුවේ හිත කිරි ගැහෙන පිළිතුරක්. හැබැයි ඒත් හරි සැහැල්ලුවකින් හැබැයි ඒ සැහැල්ලුව තුල සියුම් දුකක් තිබෙන බව නම් මට තේරුම් ගන්න අපහසු උනේ නෑ.

  " ඇයි දන්නවාද ? මම මැරුණු දවසක මගේ සොහොනේ කවියක් ලියන්න එතකොට ඔයාට පුළුවන් වෙනවානේ නිසලි " කියලයි ඔහු කිවුවේ.

 " මොකක්ද "  මට මගේ සවන් අදහගන්න බැරි වුනත් මම මුලින්ම හිතුවේ ඒක විහිලුවක්  කියලයි. ඒ අවිහිංසක නම් ඔහුගේ ඊලග පිළිතුරින් ඒක විහිළුවක් නෙවේ කියලා මට තේරුම් ගියා.

 " ඔයා දන්නවද නිසලි, මහගමසේකරව , එයාට මිනිස්සුන්ගේ හිත් හරි අපුරුවට කියවන්න දන්නවා. මම හරිම කැමතියි. මගේ සොහොන් එයාගේ මා මිය ගිය දවසක කවිය ලියනවට ඒක හරිම ලස්සනයි. ඔයා දන්නවාද නිසලි ඒ කවිය "

  මම නෑ කිවුවේ නොදැන හිටියට නොවේ. ඒ කටුක වේදනාව තව පාරක් මට අහන්න බැරි නිසා. ඒත් ඔහු ඒ කවිය හරි අපුරුවට ආයෙත් සැරයක් කියෙවුවා.

       මා මිය ගිය දවසක සොහොන් කොතේ
       ලියන්න පෙම් ගීයක් නොදන්න අත් අකුරින්
       අඩ සද පායා එන සිතල රැයක
       රැහැයියන්ගේ රැව් මැද එතකොට
       ඒ ගී හඩ මට ඇසේවි
       මේ ලොවේ යම් කිසිවෙකු
       මා හට පෙම් කළ බව
       ඒ ගී හඩ මට කියාවි

ඒ හඩ වියකි යද්දී මගේ දෙනෙත් වලින් ආයෙත් කදුළු වැල් ගලා ගියේ අහේතුවකට නොවන බව ඔහුට තේරුම් ගියත් ඔහු නැවතුනේ නෑ.

 " දන්නවාද නිසලි මම මහගමසේකරගේ කවියේ හරියට ආදරේ කරන තැනක් තමා නොදන්න අකුරින් කියන කොටස. එක මගේ ජිවිතේට ගොඩක් එකතුයි නිසලි. මම දන්න යාලුකමට වඩා මම කවදාවත් නොඉල්ලපු නොවිදපු ඒ ආදරේ නොදන්න අත් අකුරකින් මගේ ජිවිතයට අලුත් විදියකට ලං වෙනවට මං කැමතියි නිසලි. "

 අවිහිංසකගේ වදන් වලට මම නිහඩ වුනත් මහගමසේකර හරි අපුරුවට ඔය සිත අකුරු කර තිබුන බව මට නිසැකයි.

 ඔහුට මා මොනතරම් ආදරේ කලාද එත් ඒ ආදරේ ඔහු හමුවේ දිග අරින්න නොහැකි උනේ ඇයි කියලා මට තමා තේරුම්  ගන්න බැ. සමහර වෙලාවට මම හිතුවා ඔහුගේ ගුප්ත කවි කතාවල ඉන්නේ වෙන යුවතියක් කියලා. ඒ කොහොම වුනත් එදා ඔහු අවසන් වරට මා හමුවෙලා දෙසතියක් ගෙවිලා ගිහින්. ඒ වගේම දයිවයේ සරදමකට වගේ වැළදුණු ඔහු ලොවට නොකියා සැගවූ රෝගයක් අවිහිංසක නම් ඔහුව රැගෙන යලි නොඑන්න ගිහින්.

තව මොහොතකින් මළ හිරු ක්ෂිතිජ ඉමේ සැගවී යාවි. සොහොන් කොත් අතරේ ඔහු තනි කරමින් මිනිසුන් එකා දෙන්නා නික්ම යන්න පටන් අරගෙන තිබුනත් මම තාමත් සොහොන පාමුලින් හිදගෙන සොහොන් කොතේ ලියවී තිබුණ මහගමසේකරගේ කවි පෙළ දිහා බලන් හිට්යේ දෙනෙත් කදුලින් බොද වෙද්දී.

 ඇයි ඔහු එදා මහගමසේකරගේ කවිය ගැන මට කියාදුන්නේ කියලා මම තේරුම් ගන්නට සොහොන් කොතේ කැටයම් අකුරින් ලියැවී තිබුණ මහගම සේකරගේ කවිය දෙස බලද්දී මම බොද වුනු දෙනෙතට අකුරු දෙස නෙවේ ඒ අසල තිබුණු හතරට පහට නැමූ කඩදාසිය දෙසයි.

මොහොතකට පෙර ඔහුගේ මිතුරා තබා ගිය කඩදාසිය ඔහු තම නික්මයාමට පෙර ලියුවක් බව මිතුරා පැවසුවා. ඔහු මරණාසන්නව නිසලිට දෙන්නයි ලියාදුන් එය විවර කරන්නට සැලෙන ඇගිලි තුඩු වලින් සැරසෙද්දී මා නෙත් යොමු උනේ.කඩදාසිය පිට පැත්තේ ඔහු මුතුවන් අකුරින් ලියා තිබුණු මා දයාබර නිසලි යන්න දෙසයි. අවිහිංසක සරත්සේකර නම් වුනු ඔහු මෙසේ කියා තිබුණා.

සසරින් සසර මා
සමගම නුඹ රැදෙන්න
එහෙත් මෙවන් සමයක මෙන්
නුඹ හැර නොයන්න
හැකි වන්නැයි පතන්න

ජනිත වුනි නුඹ දුටු දින
සිත් ගැබයේ ප්‍රේමය
මා මළගම මා අසල
ලියැවී ඇති බව දැන
කිසිදා පැවසිය නොහැකි වුනු
මා නුඹට පිදු ප්‍රේමය

එනමුදු පැවසිය නොහැකි වු පෙම
සිත් දරාගෙන මම හැම දවසකම
නුඹ හා පියමන් කලේ
නුඹේ සුවද තනි සිතකින් විද
නිහඩව නුඹට පෙම් කරන්න

මා මළගම් ගිය පසු
නුඹ මා හට පෙම් කල බව
ලොවට හඩගා කියන්නට
හැකිනම් නොදන්නා අත් අකුරින්
මගේ සොහොනේ පෙම් කවක්
ලියන්න මා සිහිකර

(2009 වසරේ ඒ කියන්නේ මම 10 වසරේදී ලියපු මගේ පලවෙනි කෙටි කතාව )


Thursday, April 11, 2013

මේ කුරිරු ලෝ තලයෙන් සමු ගන්නට මත්තෙන් මගේ පන්හිදෙන් ලියවෙන අවසන් සටහනයි.

     කාත් කවුරුවත් නැතිව ලෝකේ අසරණ වුන මිනිස්සු කියන්නේ පදික වේදිකාවේ පිනට යමක් යදින යාචකයෝ විතරක් කියලා ඔබ හිතනවා නම් මේ පොලෝ තලයේ සිටින නිවැරදි බවින් තොර වූ පුද්ගලයා ඔබයි. ඔබ හිතනවට වඩා මිනිස්සුන්ගේ ජිවිත ගැඹුරුයි. මුදල්, අධ්‍යාපනය , කිර්ති නාමය, අම්මා තාත්තා, ආදරය හැම දේම තියෙනවා නම් ඔහු සම්පුර්ණයි කියා ඔබ හිතාවි 

   නමුත් ඔබ දන්න ජිවිතේ ගැඹුර වැලි කැටයත් වඩා සියුම් කියලා කවදාවත් අමතක කරන්න එපා.හැබැයි ජීවිතය කියන වැලි කැටයේ හැම පැත්තකටම සිරිලා ඔප මට්ටම් වෙලා ලේ වැගිරුණු ජිවිතයක් මට තියෙනවා. ඔබ දැකලා තියෙනවටත් වඩා ජිවිතේ ගැඹුරු පතලේ ඇස් වලින් ලුණු රසය සෝදා හැරෙන තුරු මං මගේ ජිවිතේ හඩා වැටිලා තියෙනවා.

  මේ කුරිරු ලෝ තලයෙන් සමු ගන්නට මත්තෙන් මගේ පන්හිදෙන් ලියවෙන අවසන් සටහනයි කියලා මං කිවුවේ මං ආයේ මේ අපිරිසිදු වාතයෙන් මුසපත් වුන ලෝකේ සුස්මක් වැදෙන්නවත් එන්නේ නෑ. එත් මං යන්න කලින් මගේ ජිවිතේ මෙහෙම අකුරු කරන්නේ මං විදපු දුක තවත් අසරණයෙක් විදිනවට කැමැති නැති නිසා.

  මේක බොහොම පුංචි ලෝකයක්. ඒ පුංචි ලෝකේ සුරංගනා කතාවක් තරම්ම ලස්සන නැති වුනත් අම්මගෙයි තාත්තගේයි අතරේ හුරතල් වුන ඔයාට තරම්ම ලස්සන ජිවිතයක් මට තිබුණා. එත් එක කළුවර දවසක මගේ තාත්තා මේ ලෝකෙන් අතුරුදහන් වුනා. තාත්තව හොයා ගන්න ඕන නිසා හැම සේසතක්ම උගසට සින්න වුනා. එත් අපිට ඕන වුනේ තාත්තා විතරයි. එත් එයා ආයේ ආවේ නෑ.. ඒ ප්‍රශ්න මත්තේම හිතන්න ගිහින් අම්මා මාරාන්තික රෝගියෙක් වුනා. එයාගේ ජිවිතේ තරාදියක් දෙපැත්ත වගේ. පුංචි කාලේ ඉදන් අහිංසකකමට ලෝකේ හයක් හතරක් දැනන් උන්නේ නැති මම එදා ඉදන් ලෝකේ තේරුම් ගත්තා.

   පුංචි කාලේ ඉදන් එකට ඉදපු මගේම යාලුවෝ එක බත් එක දිග ඇරන් කාලා උඹට ඕනේ දේකට අපි ඉන්නවා බන් කියපු මගේ යාලුවන්ගේ වචන වචනයක්ම විතරක් උනා. මගේ යාලුවෝම මං ගැන මගේ අසරණකම ගැන ලෝකේ හුගක් බොරු දේවල් කිවුවා. මගේ අම්මයි තාත්තයි මාව අරන් හදා ගත්තා කිවුවා. මං මගේ අම්මගේ අසනීපෙ විකුණන් කැවා කිවුවා. උඹලා දන්නවා මං මගේ වුවමනාවකටත් මං එක සතයක් ඉල්ලුවේ නෑ. මං මගේ අම්මව බලා ගෙන ගෙදර ඉද්දි උඹලා කිවුවා. මගේ කෙල්ල එක්ක හැම තැනම රවුම් ගහනවා කිවුවා.මං ඉවසුවා. ගොඩක් ඉවසුවා. ඒ උඹලට බයේ නෙවේ මගේ අම්මා වෙනුවෙන්. මේ හැම කට කතාවක්ම අහලා මගේ අම්මා ලෙඩ ඇදෙ ඉදන් ඉකි ගගහා අඩපු හැටි දැක්කා නම් උඹලාට අම්ම කෙනෙක් කියන්නේ කවුද කියලා අදුර ගනීවි, එක එක්කෙනාගේ කට කතා වලින් මට මගේ කියලා හිටපු මගේ පුංචි කාලේ යාලුවවත් නැති උනා. උන් සේරම මාව අත්හැරියා. මං වගේ කාලකන්නියෙක් උඹලා වගේ වැදගත් මිනිසුන්ට හොද වැඩි.

  යාලුවෝ මෙහෙම කරද්දී නැදෑයෝ ඒ හැටි දෙනෙක් අන්තිමට ඉතුරු උනේ නෑ. හැමෝම මෙහෙම කරද්දී මගේ කෙල්ල මං ගාවම උන්නා. මොන කතා කිවුවත් මං හිතුවේ නෑ, අන්තිමට ඒ ජිවිතේ නැති කරන්න කෙනෙක් එයි කියලා. බාෂි, බාෂි කියන්නේ එකට පොඩි කාලේ ඉදන් උන්නු අපේ එකෙක්, එත් මගේ ආදරේ  මගෙන් උදුරාගන්න තරම් පවුකාරකමක් උඹට තියෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. එත් මොනා කරන්නද මනුස්සකම කියලා එකක් නෑ කියලා මං දැන් දන්නවා බන්. හැමදාම මහා රැට මං එක්ක ඉකි ගගහ අඩන්න ගේ ජිවිතේ මගේ මානසිකත්වය බින්දුවටම ඇදලා දාපු උඹලා එකෙක්වත් උන්නේ නැනේ, එහෙම මගෙන් හැම දේම උදුරා ගත්තු උබලට මගේ පන්හිද උදුරා ගන්න බැරි උන එක තමා මට තියෙන එකම සැනසීම.

  ජිවිතේ අඩියටම වැටිලා ඉන්න මිනිහෙක්ට මෙහෙම කරන්න එපා. ඒ මිනිහා උඹලා එක්ක හිනා වෙලා කතා කරලා සතුටින් ඉන්න බව ඇත්ත. එත් හිත යටින් මොන තරම් කෑ ගගහා අඩනවද කියලා අහිංසක හිතකට ගල් ගහන්න ඒ හිතේ තුවාල පාරන්න කලින් උඹලා හිතුවද.. උඹලා ඉස්කොලේට එන්නේ නෑ කියලා චෝදනා කරයි එත් ඒ මට ආදරේට නෙවේ කියලා මං දන්නවා. මගේ තුවාල වලට තවත් රිද්ද ගන්න බැරි නිසයි මං ආවේ නැත්තේ.ඒ හැම දේම වෙලා ඉවරයි. මං දැන් කාත් කවුරුත් නැති එකෙක්. ඒත් උඹලගෙන් තවත් ගල් පාරවල් මං ඉන්නේ නෑ. පුළුවන් නම් මේ එන අලුත් අවූරුද්දේවත් මනුස්සකම ඉගෙන ගනිල්ලා. මං වගේ අහිංසකයෙක්ව මරලා දාන්න උත්සාහ කරන්න එපා.මට මගේ කියලා ජිවිතයක් අයෙ නැ. එත් මං වගේ අසරණ මිනිස්සු තව ඉන්නවා. උන්ට ජිවිතයක් වෙයල්ලා. සල්ලි නෙවේ ජිවිතේ, මනුස්සකම. සල්ලි හොයලා ඉවර වෙද්දී උඹලට  උඹලවත් හොයා  ගන්න නැති වේවි. ඒත් මනුස්සකම හැමදාම තියෙයි,  උඹලට ප්‍රශ්ණයක් වුනාම කියන්න කෙනෙක් හරි ඉන්නවා. එත් මට ඉන්නේ මං විතරයි. අන්න ඒ නිසයි මේ විදියට උඹලට කිවුවේ. පුළුවන් නම් හැදෙන්න. මැරුණයින් පස්සේ සොහොන ලගට ඇවිල්ල මල් තියලා ඉටි පන්දම් පත්තු කරලා සමාවත් ඔරසන්වත් මට ඕනි නෑ. උඹලා එකෙක්වත් එන්නත් එපා. පුළුවන් නම් ජිවත් වෙලා ඉන්න කාලේ සලකපල්ලා. මිනිහෙක්ගේ අසරණ කම තේරුම් අර ගනිල්ලා. එදාට උඹලත් ජිවත් වෙනවා කියලා තේරෙයි.මොන විබාගේ පාස් කරන්නත් කලින් ජිවත් වෙන්න ඕනි දේ ඉගෙන ගන්න. මං යනවා. ආයුබෝ වේවා ! 

                     මම අසේක දිසාසේකර - 2013.04.11    


අරුණි කළුපහන