Sunday, March 12, 2017
කවිය ඔබ
කවිය ඔබ
ලියා නොලියා
අවසන් කල
කවිය ඔබ
කවි තනන්නට
අකුරු දී
ඒ අකුරින්ම
සිත රිදවා ගත්
පෙම්බර කවිය ඔබ
රිදෙන විට
හඩන්නට
හඩන විට
රිදවන්නට
කවි පද ලෙසින්
අවි ගෙන ආ
කවිය ඔබ
සියක් කැළැල් තුල
නිකැළැල්ව හිද
සිත් අදුරු කල
ආත්මයක් ගැන
ලියන්නට කියා
සිත විනාස කල
දඩබ්බර කවිය ඔබ
මා ඔබට ලියු කවිය
ඇයට හිමි කර දෙන්නට
කවි පේලියක් උදුරා
තව හිතක ඇලවූ
නමක් දිය නොහැකි
අසම්පුර්ණ කවිය ඔබ !
- අරුණි කළුපහන
Saturday, March 11, 2017
මතක මල් පෙති
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි
කැම්පස් එකේ අරලියා මල් වැටුණු තාර පාර දිගේ ඩෙනිම් සාක්කු වලට අත් ඔබාගෙන ඔහේ ඇවිදගෙන යන ගමන් අනුරාධ හෙමිහිට මිමිනුවා. තවත් ජයසිරි අමරසේකර කෙනෙක්. මට හිතුනේ එහෙම. පාර අයිනේ සීමාව ලකුණු කරලා තියෙන ගල් වැටිය උඩ පියවර පිට පියවර තියෙන ගමන් මන් ඇහුම්කන් දුන්නේ ආසාවෙන්.. අනුරාධගේ කට හඩ තමයි මන් මේ ලෝකේ වැඩියෙන්ම ආස කරපු කට හඬ.. හොදම ගායකයෝ සියක් වුන්නත් මම පිස්සුවෙන් වගේ අනුරාධගේ කට හඬම තෝරා ගනීවී. ඒ තරම් ඒ කට හඩේ අමුතු වශියක් තිබුනා. සේපාලිකා මලයි මන් ආසම කරපු සින්දුව.. මන් කැමතිම සින්දුවයි අනුරාධගේ කට හඩයි. වෙන මොනවා ද ඉතින්.. මට හිතුනේ එහෙම.
මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
ඒ හරිය කියද්දී නම් මට මහා අමුත්තක් දැනුනා.. ඊලග පද පේලිය කියන්නේ නැතිව අනුරාධ මොහොතක විරාමයක් අරන් හිමිහිට පියවර මැන්නේ නිහඩව.
" ඇයි අනුරාධ.. "
මම ඇහුවේ පුදුමෙන් නම් නෙවෙයි. ඒත් සැකෙන්..
" මොකුත් නෑ.. "
අනුරාධ සිනාසෙන්න වෙර දැරුවේ අසීරුවට කියලා මට තේරුණා. ඒත් මම නොතේරුණා වගේ උන්නේ හිතලමයි. වෙන මොනවා කරන්න ද ?
" මොකුත් නැත්තම් අනිත් ටිකත් කියන්න.. මන් ආසයි අහන්න.. "
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා..
“ ඇත්තටම මං නිසා ද ? “
මම හයියෙන් හිනා වේවී විහිලුවට ඇහුවේ ඒත් ඔබ නිසා කියලා අනුරාධ කිව්වේ මගේ මුණ දිහාවේ බලාගෙන නිසා.
“ ඔව්.. ඔයා නිසා.. “
ඔහු කිව්වේ තාමත් අර හිනාවක් නැති මුනෙන්මයි. මන් ඒකටත් කරේ හොදටම හිනා වෙන එක. එතැන හිනා වෙන්න තරම් හේතුවක් නැහැ කියල මම නොදන්නවා නෙවේ..
“ ඔයා කොහොමද ඔහොම හිනා වෙන්නේ සාරදා.. “
“ ඇයි ඒ එහෙම ඇහුවේ.. “
“ වෙඩින් එකට දවස් කියද ? ඔයාට ඔහොම හිනා වෙන්න පුළුවන් ද ? “
මන් දන්නවා අනුරාධට තිබුන ලොකුම ප්‍රශ්නේ ඒක කියලා.. ඒත් ? අනේ මන්දා.. හිනා නොවී අඩන්න ද ?
“ වෙඩින් එකට තව දවස් දෙකක්ම තියෙනවානේ අනුරාධ.. ඉතුරු ටිකත් කියන්නකෝ.. වෙන කතන්දර වැඩක් නැහැ. “
ගල් වැටිය උඩින් බැහැලා මන් අරලිය ගහ යට වැටිච්ච අරලිය මල් එකතු කරන් පටන් ගත්තේ විසිරිච්ච හිතක් එක් තැන් කරන්න වෙර දරනවා වගේ කියලයි මම ගැන මටම හිතුනේ.
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි....
මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...
ඇසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා...
ඒ ගැඹුරු ආදරය පිරුණු හඬින් වේදනාවත් එකතු කරලා සින්දුව කියලා ඉවර වෙද්දී මම තාමත් බිම බලාගෙන අරලියා මල් එකතු කරනවා. සින්දුව කියන්න මහා හුගක් වෙලා ගියාට මන් අරලිය මන් දහයක්වත් එකතු කරලා තිබුනේ නැහැ.
ගහ මුල බිමට නැමී නැමී අරලිය මල් අහුලද්දී මගේ ඇස් වලින් සට සට ගාලා කදුළු කැට තණකොළ බිස්ස මතට වැටුනේ දුකට ද අසරණ කමට ද මට තේරෙන්නේ නැහැ.. ඒ කඳුළු අනුරාධ දැක්ක ද මං දන්නෙත් නැහැ. මන් දන්නේ මෙච්චරයි. අනුරාධ ඒ සින්දුව මේ වෙලේ කිව්වේ මට කියලා වගේම සැබෑවටම එයා මට ආදරේ කරා කියලා විතරයි. ඇත්තටම මම දන්නේ එච්චරයි.
මම ගවුම් කරෙන් හෙමිහිට ඇස් පිහදගෙන බැලුවේ අනුරාධ දිහාවේ. අනුරාධ මට පිටුපාලා කැම්පස් එකේ ඈත අනන්තය දිහාවේ බලන් උන්නා. අනුරාධටත් නොදැනෙන්න මම එතනින් දුවලා ආවේ තවත් ඇඩෙයි කියන බයට.
නාරද බදින්න වෙන්නේ වෙන කරන්න දෙයක් නැති කමට කියලා මම වගේම අනුරාධත් හොදටෝම දැනගෙන හිටියා. හැබැයි එහෙමයි කියලා අනුරාධ මට ආදරේ කරනවා වගේම මමත් අනුරාධට ආදරේ කරනවා කියලා බොරු බලාපොරොත්තුවක් අනුරාධට දෙන්න මට ඕනි වුනේ නැහැ. මගේ ජිවිතේ මෙතනින් ඉවර වුනාට තවත් කෙනෙක්ට විදවන්න ඉඩ තියන්නේ කොහොමද මන්..
කැම්පස් එක ඉස්සරහින් ත්‍රිවිල් එකට නැග ගත්තු මං කිරුළපන දිහාවට යද්දී ගම්සභා හන්දියේ දී ආව පණිවිඩය අනුරාධගෙන්.
“මල් පිපෙන තුරු ලතා...
මද සුළගේ නැවතුනා...
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා... “
ඒ අනුරාධ.. සින්දුව එහෙම අකුරු කරලා එවල තිබුනේ අනුරාධ ම තමයි.
“ සින්දුව කිව්වා මදි කියලා හිත කියන නිසා ද අනුරාධ ලියලා එවන්න හිතුවේ “
සිනා යන මුඩ් එකකුත් එකතු කරලා මම එහෙම උත්තර යැව්වා..
“ ඔයාට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ වගේම තමයි මට මේ සින්දුව කොච්චර කිව්වත් එපා වෙන්නේ නැහැ.. කඳුළු තියෙන්නේ අඩන්න තමයි සාරදා.. හැබැයි දැන දැනම පැරදිලා අඩන්න නෙවෙයි. අමාරුවෙන් හරි දිනලා සතුටට අඩන්න.. “
අනුරාධ එහෙම එවලා තිබුනත් මම මොකුත් පිළිතුරක් නොයවා හිටියේ හිතලමයි. ඒ වෙනුවට ෆේස්බුක් ලොග් වෙලා මම කරේ ස්ටේටස් එකක් දාපු එක.
ඒ ජයසිරි අමරසේකර කියන ඔර්ජිනල් සින්දුව යු ටියුබ් එකෙන් හොයලා
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි... <3
කියලා ටයිප් කරලා පෝස්ට් කරේ මගේ හිත නිදහස් කරගන්න ඕනි නිසාමයි. අනුරාධ එකට ලයික් කරලා තිබුනත් හැබැයි මොකුත්ම කියලා නම් තිබුනේ නැහැ.
“ කවදාහරි උඹලා ජිවිතේ ඇන ගන්නේ මුණට කියන්න ඕනි දේවල් පේන්න විතරක් ෆේස්බුක් එකේ කොටන්න ගිහින් තමා. ඕවා කතා කරල විසදගත්තා නම් කොයිතරම් දෙයක් ද කියලා උබලට තේරෙයි දවසක.. “
ප්‍රියංවදා දවසක් අනුරාධයි මමයි දෙන්නම ඉන්න තැනක හින්ට් එකට වගේ කියාගෙන ගියෙත් අපි දෙන්නට. හැබැයි ඒ වෙලෙත් අපි දෙන්නම ගොළුවෝ බිරෝ වගේ සද්ද නැතිව වුන්නා. හරියට අපිට නෙවේ කිව්වේ වගේ.
ආදරේ කියන්නේ කටින් කියලා අයිති කරගන්නම ඕනි දෙයක් යෑ.. ඕක හිතේ තිබ්බා කියලා හෙන ගහනවා යෑ..
මට එදා හිතුනේ එහෙම. හැබැයි ඒ හිතෙන දේවල් ඒ දවස් වල වුනත් මම වචනයෙන් නම් කියන්න ගියේ නැහැ.
“ උඹට පිස්සු ද සාරදා.. “
එකපාර මැසේජ්ර් එකට ආව පණිවිඩය නාරදගෙන්.
“ ඇයි “
මම රිපල්යි කරේ පුදුමයෙන්.
“ දවස් දෙකකින් කසාද බදින්න ඉන්න ගෑනියෙක් වෙලා නහින් අඩන සින්දු ෂෙයාර් කරන්නේ මගුල ට ද ? මිනිස්සු මොනවා නොකියයි ද “
නාරද ගේ භාෂාව එහෙමයි. පුදුම වෙන්න දෙයකුත් නැහැ එකේ.
“ මම ගෑනියෙක් නෙවෙයි නාරද.. මම කෙල්ලෙක්.. වැදගත් විදියට කතා කරන්න. රටේ ලෝකේ මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.. විකාර හිතන්න “
මම එහෙම කියලා ඕෆ්ලයින් ආවා. ට්‍රැෆික් එකේ හිර වෙලා ඉද්දි මම මගේ හිතටම මෙහෙම කිව්වේ ඈතින් කළු කරගෙන එන වැහි වලාකුළු දිහාවේ බලාගෙන.
“ ෆේස්බුක් ස්ටේටස් එකටත් නීති රීති දාන මිනිහෙක්. උඹගේ ජිවිතේ හරි අපුරුවටම තියෙයි සාරදා.. “
මට මහා ආත්මානුකම්පාවක් දැනුණා.
- අරුණි කළුපහන
Saturday, January 28, 2017
මල් ආත්ම :)
" ගැහැණු කැමති හුදකලාවට
"
මල් විසිරුණු බෝගන්විලා ගස් හෙවණ
යට තිබුන ගල් බංකුවේ ඉදගෙන මන් කිව්වා. ඒ ගල් බංකුව තිබුනේ අපේ ගෙදර මිදුලේ
කෙලවරක.
" හැම ගෑනිම නෙවෙයි.
හුදකලාවට වෛර කරන ගැහැණුත් ඉන්නවා. ඕවා විකාර කතා සාරදා. ඇත්තටම මන් හුදකලාවට ආසයි
ගාගෙන හැම තිස්සෙම කොහේ හරි අස්සකට වෙලා රිංගන මන් දන්න එකම ගෑනිත් ඔයා. ඕක මට නම් පිස්සුවක්.. "
ඔහු කිව්වේ ඔලුවට වැටිච්ච
බෝගන්විලා මලක් කෝපයෙන් ඇදලා පොඩි කරලා බිමට විසික් කරන ගමන්.
" ඒක පිස්සුවක් නෙවෙයි
නාරද. ජීවිතය විදින්න පුළුවන් හුදකලා වෙන තරමට.. "
" එතකොට ඔය අහුමුලු වලට
රිංගන් කළුවරේ ලියන එකෙන් ඔයා කරන්නේ ඔය ජීවිතය විදින එක ද ? "
" ඔයාට මාව පෙන්නේ එහෙම ද
නාරද ? මන් කැමති තනියම මගේ පාඩුවේ ඉන්න තමයි. හැබැයි මන් ඉන්නේ කළුවරේ නම්
නෙවෙයි. "
" අප්‍රබංස කියන්න එපා
සාරදා.. මන් යනවා. මට මිටින් එකක් තියෙනවා තව ටිකකින්.. "
" කාත් එක්ක ද ? "
" මිනිස්ටර් එක්ක.. අලුත්
බිස්නස් එකේ වැඩ වගයක් ඩිස්කස් කරන්න තියෙනවා. ඇයි ? "
" ඔයාට බිස්නස්, මිනිස්ටර්ලා
එක්ක වැඩ, මිටින් හැර වෙන දෙයක් ගැන හිතන්න වෙලාවක් නැද්ද
නාරද ? "
" මේ වෙලාවේ මන් කැමති මේවා
ගැන හිතන්න තමයි සාරදා. මොකද ඔයා කියන්න යන ජීවිතය විදින කෙහෙල්මල් ගැන හිතන්න
පුළුවන් බිස්නස් වලින් ඈත් වෙලා ගෙදරට වෙලා රෙස්ට් කරන්න තරම් වයසකට ආවම,. ඔයාත් දැන්
ඉදන්ම ඔය මල විකාර වලින් ඈත් වෙලා කසාදෙ වැඩ වලට ලැස්ති උනොත් හොදයි.. "
" අමුතුවෙන් ලැස්ති වෙන්න
දෙයක් නැහැ නේ නාරද.. අම්මලා ඔක්කොම ලැස්ති කරනවනේ. අනික wedding
ප්ලෑනින් කරන අයත් ඉන්නවනේ. මන් ඊයෙත් ඔයාලගේ අම්මා එක්ක ගියා ඒ වැඩ වලට "
" ඒ උනාට ඔයාගේ උනන්දුව මදි
කියලා අපේ අම්ම ඊයේ මට කිව්වා. ඔය පොත් පත්තර ලියන කියන වැඩ වලින් අයින් වෙලා මගේ
වයිෆ් වෙන්න දැන් ඉදන්ම ලැස්ති වෙන්න. මොකද මගේ බිස්නස් වලට සපෝර්ට් කරන ගෙදර දොරේ
වැඩ ටික කරන වයිෆ් කෙනෙක් මිසක්. මට ඔය පොත් අස්සේ රිංගන් හුදකලාව හොයන ගෑනියෙක්
ඕනි නැහැ. "
නාරද කිව්වේ කාර් එකේ යතුරත්
අරගෙන ගල් බංකුවෙන් නැගිටින ගමන්.
" එහෙනම් ඉතින් ඔයාට
තියෙන්නේ ගෙදර දොරේ වැඩ කරන්න. ස්ර්වර්න්ට් කෙනෙකුයි සෙකට්‍රි කෙනෙකුයි ගන්නනේ.
මොකටද මාව බදින්නේ.. "
කියලා මට අහන්න හිතුනත් මම එහෙම
ඇහුවේ නැහැ. මන් සද්ද නැතිව ම නාරද යන දිහාවේ බලන් උන්නා. මොකද තර්ක කරන්න පුළුවන්
එහෙමත් මිනිහෙක් එක්ක. නාරද එක්ක තර්ක කරලා වැඩක් නැහැ.
“ පුතේ, නාරද ගියාද ? “
නාරදගේ කාර් එක යන සද්දේ ඇහිලාද
කොහෙද තාත්තා එලියට ඇවිදින්. තාත්තා නාරදව මග අරින බව මන් දන්නවා. තාත්තාට වැරද්දක්
කියන්නත් බැහැ. මගේ දුක්ගන්නාරාළ වුණ තාත්තා මගේ හිත ගැන වගේම නාරදගේ හැටි ගැනත්
හොදටම දැනන් උන්නා. නාරදට මවා ගත්ත බොරු හිනාවකින් කතා කරන්න අකැමතිකමට තාත්තා
නාරද ඉන්න වෙලාවට කෑම කාමරේට වෙලා පත්තරයක් බලන්න පුරුදු වෙලා හිටියා.
“ හ්ම්ම්ම්.. “
“ මොකද දරුවෝ.. නාරද මොනවද
කියන්නේ.. “
“ මොනවා කියන්න ද තාත්තේ.. හැමදාම
වගේ බිස්නස් වල ගැන තමයි. වෙඩින් එකට ලැස්ති වෙන්න ලු. එයාගේ යටහත් පහත් සේවක
බිරිද වෙන්න කියලා තමයි නොකියා ඉන්නේ. “
“ හ්ම්ම්.. “
තාත්තා බිම වැටුණු බෝගන්විලා
මලක් අහුලාගෙන ගල් මෙසේ උඩින් තිබ්බා. කොළ පාට ගල් මේසෙට රෝස පාට බෝගන්විලා මල්
ගෙනාවේ අමුතු ලස්සනක්.
“ ඇයි තාත්තා.. අම්මා මට එහෙම
කරන්නේ.. “
“ ඇයි දරුවෝ.. “
“ නාරද එක්ක මට සතුටින් ඉන්න
බැරි බව දැන දැනත් ඇයි අම්මා හිතන්නේ නාරද බැන්දායින් පස්සේ වෙනස් වෙයි කියලා. නාරද
එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි තාත්තා.. එහෙනම් නාරදගේ දෙමව්පියෝත් වෙනස් වෙන්න
එපැයි නේද.. “
“ ඊයේ මොකද උනේ ? “
“ මොනවා වෙන්න ද.. නාරදලාගේ
අම්මා එක්ක හෝම් කමින් සාරි එක බලන්න ගියා. තව හොටෙල් එකටත් ගියා. අනේ මන්දා
තාත්තේ එයාලගේ පම්පෝරිය තමයි.. ලගදී හොටෙල් එකක අයිතිකාරයෝ වුනාට කතා කරන්නේ
අවුරුදු 100ක් තිස්සේ හෝටල් කරා වගේ. “
මං
කිව්වේ ඇත්තට ම කළකිරීමකින්.
“
අම්මා ඔයාව අමාරුවේ දාන්න හිතාගෙන නෙවෙයි නේ පුතේ මේ කසාදෙ කරන්නේ.. ඒ දවස් වල
ඔයාගෙන් මේ කසාදෙට කැමත්ත අකමැත්ත අහද්දී ඔයා කරේ අනේ මන්දා කියල නිහඩව උන්න එක. ඒක
එයා ඔයාගේ කැමත්ත විදියට හිතුවා. මොකද ඔයාට කියලා වෙන සම්බන්ධකම් තිබුනෙත් නැහැ
නේ. නාරද මේ ගෙදරට එද්දී යද්දී උනත් ඔයා හිනා වෙලා කතා බහ කරානේ. “
“
ඒ හිතවත්කමට කියලා තාත්තා හොදටම දන්නවනේ. නාරද මේ ගෙදරට ආවේ ගියෙත් සයන්ස් ක්ලාස්
එකට නේ. සයන්ස් උගන්වන්න මාවයි නාරදටයි ගෘප් ක්ලාස් එකක් දාන්න ඕනි කියලා නාරද
මෙහෙට එව්වෙත් නාරදගේ අම්මමනේ තාත්තේ. “
“ ඒක හරි.. ඒත් ඒ හැම දෙයක්ම එහෙම තියෙද්දී කවදාවත් නාරද ව එපා කියලා කෙලින්ම නැහැ නේ දරුවෝ.. මන් දන්නවා හිතෙන ඔයා අකමැත්තෙන් හිටපු බව. රටේ ලෝකේ කොච්චර රැඩිකල් කතා කිව්වත් වැඩක් නැහැ දරුවෝ. තමන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනි වෙලාවේ දී ඒ රැඩිකල්කමවත් ප්‍රයෝජනෙට ගත්තේ නැතිනම්.. “
“ ඒක හරි.. ඒත් ඒ හැම දෙයක්ම එහෙම තියෙද්දී කවදාවත් නාරද ව එපා කියලා කෙලින්ම නැහැ නේ දරුවෝ.. මන් දන්නවා හිතෙන ඔයා අකමැත්තෙන් හිටපු බව. රටේ ලෝකේ කොච්චර රැඩිකල් කතා කිව්වත් වැඩක් නැහැ දරුවෝ. තමන්ගේ ජිවිතේ තීරණ ගන්න ඕනි වෙලාවේ දී ඒ රැඩිකල්කමවත් ප්‍රයෝජනෙට ගත්තේ නැතිනම්.. “
“
ඒත් මන් පහුවෙලා හරි ඒ ගැන අම්මට කිව්වනේ තාත්තේ.. වෙඩින් එකට මාස හතරක් පහක්
තියලා කිව්වට වැඩක් නැහැ කියල මන් දන්නවා. ඒත්.. “
“
සාරදා.. ඔයාට අත උස්සපු හැම වෙලාවකම ඔයා ඉවසන් උන්නා සද්ද නැතිව ම. ඔයා අඩු තරමේ
ඔයාට මෙච්චර ආදරේ කරන ඔයාගේ තාත්තාටවත් කිව්වා ද ? තාත්තේ නාරද මට පොඩ්ඩ
බැරිවෙද්දී ගහනවා කියල.. නැහැ පුතේ.. ඔයා කිව්වේ අම්මා ට.. අම්ම හිතුවේ හැමදේටම
නිහඩව ඉදලා ඔයාලට විසදගන්න දෙන එක හොදයි කියලා. එයාවත් මට කිව්වේ නැහැ. මන් කලබල
වෙන හින්දා. ඊට පස්සේ ඔයාම දවසක අඩාගෙන
දුවගෙන ඇවිත් කියනවා අනේ තාත්තේ මාව බේරගන්න මේ කසාදෙන් කියලා.. ඒත් වෙඩින් එකට
මාස 6ක් තියලා.. ඒකත් කමක් නැහැ කියලා දෙකින් එකක් බේරන්න ඒ ගෙදරට යන්න යද්දී ඔයාම
නේද ආයේ කිව්වේ කමක් නැහැ තාත්තේ නාරද ව
මන් බදින්නම් කියලා. රණ්ඩු කරාට නාරද මට ආදරෙයි.. ඒ නිසා මොකුත් කියන්න එපා
කියලා.. දැන් ඇයි දරුවෝ මේ ආයේ එහෙට මෙහෙට අදින්නේ.. මොකක්ද මේ වල තේරුම.. “
“
හ්ම්ම්ම් “
මේ
කසාදෙ නොකෙරුනොත් නාරදව මාව මරනවා කියලා මන් කොහොමද තාත්තට කියන්නේ. නාරද කිව්වා
වගේම ඒ දේත් කරනවා කියලා මන් දන්නවා. කසාද බදින්න බැහැ කියලා කිව්ව හැම වෙලාවේම
උනේ නාරදගෙන් ගුටි කන්න කියලා මන් කොහොමද කියන්නේ. මේ කසාදෙ නොකෙරුනොත් තාත්තයි නාරදගේ
තාත්තයි එකතු වෙලා පටන් ගත්තු බිස්නස් වැටෙනවා කියලා දැනගෙන මන් කොහොමද ඕවා
කියන්නේ දැන්. බිස්නස් එක තාත්තාගේ ජිවිතේ
වගේ. හැබැයි එයා අනිත් හැමෝගෙන්ම වෙනස් උනේ. තාත්ත බිස්නස් එකට වැඩිය ගෙදරට
මිනිසුන්ට ආදරේ කරපු නිසා. ඒත් අනිත් අයට සල්ලි හම්බවෙද්දී මනුස්සකම අමතක වුනා.
“
සාරදා.. “
“
ඇයි තාත්තේ.. “
“
මට මේක කියන්න.. ඔයා කාට හරි ආදරේ කරනවා ද ? “
“ නැහැ තාත්තා.. “
“
එහෙනම් කවුරු හරි හිතේ ඉන්නවා ද? “
“
දන්නේ නැහැ.. දන්නා තරමට හිතට එච්චර ලග කෙනෙක් නැහැ.. අනේ මන්දා.. හැබැයි මට නාරදව නම් එපා.. “
“
එහෙනම් මේ කසාදෙ නතර කරමු.. වැඩේ ඉවරයි නේ.. මොකද කසාදෙ නතර කෙරුවා කියලා වෙඩිසිංහගෙයි
මගෙයි බිස්නස් වලට මහා ලොකු අලාභයක් වෙන්නේ නැහැ. “
“
ඒත් නාරද මේ කසාදෙ නතර කරනවාට කැමති නැහැ නේ තාත්තේ.. “
“
ඌගෙ කැමැත්තෙන් මට වැඩක් නැහැ. මම නාරදගේ තාත්තා එක්ක කතා කරන්නම්.. “
“
එපා තාත්තේ. වෙඩිසිංහ අන්කල් උනත් මුලින්ම හිතන්නේ නාරද ගැන. මං තව ටිකක් හිතලා
කියන්නම් තාත්තාට.. “
“
එපා කියනවා. බදින්නම් කියනවා.මොනවද තේරුම.. හැමදාම ඔයා ඔහොම හිත හිතා ඉන්න.. අන්තිමට
හිතල හිතල නුල් බෝලයක් වගේ පැටලුනු දාට හැමදේම ලිහලා පිළිවලක් කරන්න අමාරුයි
කියලත් තේරුම් ගනින්.. “
තාත්තාත්
එහෙම කියාගෙන යන්න ගියා. අද බෝගන්විලා ගහ යටට එන හැමෝම යන්නේ කේන්තියෙන්. බෝගන්විලා
මල් නම් මට වැඩිය නිදහසේ ජිවත් වෙනව් . පිපිලා ටික දවසක් ලෝකේ ලස්සන කරලා පර වෙලා
යනවා. කොච්චර ලෝකේ ලස්සන කරත් බිමට වැටුණු දවසක තමන් ව මිනිස්සු පාගනවා කියලවත්
හිතෙන්නේ නැතිව ඔහේ ඉන්නවා.
බෝගන්විලා
මලක් වගේ වෙන්න තිබුනා නම් කොච්චර හොදද.. ඊටත් වඩා බෝගන්විලා ගහට කතා කරන්න
පුළුවන් උනා නම් කොච්චර හොදද.. අම්මගේ යාළුවගේ පුතා වෙච්ච නාරද ගැන බෝගන්විලා ගහත්
මන් තරමට දන්නවා. කතා කරන්න බැරි උනත්. බෝගන්විලා
ගහට කතා කරන්න පුළුවන් උනා නම් මට හැම දෙයක් ම එයා එක්ක කියල උපදෙසක් ගන්න තිබ්බ.
“
එක අතකට ඔයා මොනවා කරන්න ද බෝගන්විලා .. හැමදේම අවුල් කරගත්තේ මම නේ. ඔයා හැමදේම හැම
කතාවක් ම අහගෙන උන්නට ඔයාට ඒවාට ලෝකේ ඉස්සර සාක්ෂි දරන්න බැරිව අසරණ විත්තිය මන්
දන්නවා. එක අතකින් කොයි මිනිහව බැන්දාත්
වෙන්නේ එකම දේ නේ. එයාගේ කීකරු බිරිද වෙලා පරම්පරාව ගෙනියන්න දරුවෝ වදලා හදලා දෙන
එක නේ.. හැම දෙයක් ඉස්සර නිහඩව බලන් ඉදලා
හෙමිහිට පැත්තට ගුලිගැහිලා ඇකිලීල යන එකනේ.. එහෙම නේද බෝගන්විලා.. ඔයාත් එහෙම නේද.. “
මම
ඔහේ බෝගන්විලා ගහ එක්ක කියෙව්වා.. කවුරු හරි දැක්ක නම් මට පිස්සු කියල හිතාවි. ඉස්සර
ඕලෙවල් කරද්දී මන් කරේ අම්මා හදලා දෙන මයිලෝ කිරි එකයි ඉගුරු බිස්කට් එකයි අරගෙන අරගෙන
ඇවිත් බෝගන්විලා ගහ එක්ක හිතින් කියෝන එක. ඊට පස්සේ ගහ වටේම බිම වැටිලා තියෙන මල්
ටික එකතු කරලා ගහ මුලට දාන එක. එතකොට එයාල ආයේ දවසක මල් ආත්ම වෙලා ගහ දිගේ උඩටම
නැගලා ආයෙත් ලස්සනට පිපිලා හිනැහෙවී නේ.. මන් ඔය වගේ කතා අනුරාධ එක්ක කියවද්දී එයා
කරේ මට හිනා වෙන එක. හැබැයි කොහොම හිනා උනත් එයා ඒ කතා අහන්න ආස කරා. ජපුරේ ඕපන්
එකට තේ බොන්න යන හැම වෙලාවකම අනුරාධ මං කියෝන ඔය වගේ විකාර කතා අහන් උන්නා. හැබයි
හිනා වේවි. වැඩියෙන් ම එයා හිනා උනේ මන් කියන කතන්දර වලට වැඩිය ඕපන් එකට යන පාර
දිගේ වැටිලා තිබ්බ අරලිය මල් පෑගෙයි කියලා මන් උඩින් උඩින් අඩි තියෙන එකටයි. ඒ මල්
අහුලලා ගස් මුලට දාන එකටයි.. හැබැයි
කොච්චර හිනා උනත් එයත් මල් අහුලන්න මන් එක්ක එකතු උනා.
Thursday, January 12, 2017
මායම්කාර කිවිදිය මම
" කවි කියන්නේ විකාරයක්
මායම්කාර ගෑනුන්ට
කවියක් කියන්නේම
පිරිමි හිත් රිද්දන
අමාරුවේ දාන පොටක් "
අවේලාවේ ලියවෙන
ඔබේ හිත ගස්සන
ටිකක් සැරට වැදෙන
මම ඔබට ලියන
කවි ගැන ඔබ කියන්නේ එහෙම
" කවියක් කියන්නේම වන්දනාවක්
ප්‍රේමයෙන් උපදින රිදුමක්
පිරිමි හිතකට පුද දෙන තත්පරයක්,
කවියක් කියන්නේම
ගැහැණියකගේ වේදනාව
මුතු බෙල්ලෙකුගේ කදුලූ කැට
එකිනෙක හමුවන මොහොතක් "
ඔබ අකැමැත්තෙන් කියවන
ඔබ ගැන ලියවෙතැයි
ඔබ තුන් තිස් පැයේ බිය වෙන
නමුත් ඔබටම ලියන
කවි ගැන මම කියන්නේ එහෙම
" කිවිදියකට පෙම් කිරිම
ඉවරයක් නැති කරුමයක්
මුණට නොකියන වචන
කවි අතරින් පෙනෙනකොට
මට දැන් හරි විකාරයක්
රෑ දෙගොඩ යාමේ
ඔබ ලියන වචන ගැන
හෙවිල්ලේන් ඉදලාම
නැහැ මට හරි නින්දක් "
කවියක් අස්සේ රහසින්
ලෝකෙන් හංගපු ආදරයක්
අහසට ඉගිලෙතැයි බියකින්
අවලාද නගමින්
රෑ මැදියමේ මතුරන
ලියන ලියවෙන කවි කියවා
මඳ සිනා නගන පින්තාරුවක්.
" වැඩි කලක් ඔබ ගැනම
නොලියන කවියක් ගැන
ඇයි ඔබ වදවෙන්නේ ඔහොම
මැරෙන උපදින හිතක් ලග
නික්මීම ද අත වනන වග
ඔබ දන්නෙ නැති එකයි පුදුම "
ඔව්! කිවිදියක් කියන්නේම
මායම්කාර ගැහැණියක්
ඔබ නොදන්නවට
කිවිදියක් කියන්නේම
සාපලත් ජිවිතයක්
වේදනා කදුලක්
නෙතගින් පිසදා
මද සිනහා උපද්දන
සිතුවමක් !
කළු ගලක් යට
හුස්ම හිරවුණු
මහා මෙරක් බර හදවතක්..
#AK
මායම්කාර ගෑනුන්ට
කවියක් කියන්නේම
පිරිමි හිත් රිද්දන
අමාරුවේ දාන පොටක් "
අවේලාවේ ලියවෙන
ඔබේ හිත ගස්සන
ටිකක් සැරට වැදෙන
මම ඔබට ලියන
කවි ගැන ඔබ කියන්නේ එහෙම
" කවියක් කියන්නේම වන්දනාවක්
ප්‍රේමයෙන් උපදින රිදුමක්
පිරිමි හිතකට පුද දෙන තත්පරයක්,
කවියක් කියන්නේම
ගැහැණියකගේ වේදනාව
මුතු බෙල්ලෙකුගේ කදුලූ කැට
එකිනෙක හමුවන මොහොතක් "
ඔබ අකැමැත්තෙන් කියවන
ඔබ ගැන ලියවෙතැයි
ඔබ තුන් තිස් පැයේ බිය වෙන
නමුත් ඔබටම ලියන
කවි ගැන මම කියන්නේ එහෙම
" කිවිදියකට පෙම් කිරිම
ඉවරයක් නැති කරුමයක්
මුණට නොකියන වචන
කවි අතරින් පෙනෙනකොට
මට දැන් හරි විකාරයක්
රෑ දෙගොඩ යාමේ
ඔබ ලියන වචන ගැන
හෙවිල්ලේන් ඉදලාම
නැහැ මට හරි නින්දක් "
කවියක් අස්සේ රහසින්
ලෝකෙන් හංගපු ආදරයක්
අහසට ඉගිලෙතැයි බියකින්
අවලාද නගමින්
රෑ මැදියමේ මතුරන
ලියන ලියවෙන කවි කියවා
මඳ සිනා නගන පින්තාරුවක්.
" වැඩි කලක් ඔබ ගැනම
නොලියන කවියක් ගැන
ඇයි ඔබ වදවෙන්නේ ඔහොම
මැරෙන උපදින හිතක් ලග
නික්මීම ද අත වනන වග
ඔබ දන්නෙ නැති එකයි පුදුම "
ඔව්! කිවිදියක් කියන්නේම
මායම්කාර ගැහැණියක්
ඔබ නොදන්නවට
කිවිදියක් කියන්නේම
සාපලත් ජිවිතයක්
වේදනා කදුලක්
නෙතගින් පිසදා
මද සිනහා උපද්දන
සිතුවමක් !
කළු ගලක් යට
හුස්ම හිරවුණු
මහා මෙරක් බර හදවතක්..
#AK
Tuesday, January 3, 2017
හීන ඇහිදින හුළග
මාධ්‍යවේදී ජිවිතයට අව්ව, වැස්ස, රජයේ නිවාඩු, නත්තල්, අවුරුදු කියලා වෙනසක් නැහැ, කොහේ හිටියත් හැමදාම ඊලග දවසේ පත්තරේ කරන්න අපි කන්තෝරුවට එනවා.
ජනවාරි මාසේ පළමුවෙනිදා කියන්නේ ඉරිදා දවසක් වුණත් පුරුදු විදියට " මව්බිම " ට එද්දී බස් එක දෙමටගොඩ බෝ ගහ ගාව නැවතුනේ කලර් ලයිට් එක තව තත්පර 54ක් නැවතිලා ඉන්න කියලා සංඥා කරපු හින්දා. තත්පර 54ක් උනත් කාලය නාස්ති වෙනවනේ හැගීමෙන් මම ජනේලයෙන් එළිය බැලුවා.
ජනවාරි පළවෙනිදා නිසාද මන්දා පාරේ යාචකයන් දැක්කේ හරිම අඩුවෙන්. බෝ ගහ ගාව පාරේ අනිත් පැත්තේ සිගමන් යදින පුද්ගලයෙක් උන්නා. බොහොම වයසක තත්තා කෙනෙක්.
ඉරි ගිය සරමට, ප්‍රමාණයටත් වැඩි ලොකු කමිසය ඒ වයසක පුද්ගලයාට ගෙනාවේ තවත් අසරණ පෙනුමක්. පාරේ යන එන අයගෙන් අත පාලා කිය කිය හරි ඉල්ලපු ඔහු කළු ඉටි බෑග් එක දරා ගත්තු අනිත් අතින් දෑසෙන් කඩා හැලුණු කඳුළු පිස දැම්මේ ලෝකෙටම රහසින්. ඔහු රහසේ පිස දැම්ම කඳුළු විතරක් නෙවෙයි, වෙවුලන දෑතින් ඔහු සිගමන් ඉල්ලු වගවත් සමහරුන්ගේ ඇහැ ගැටුනේ නැහැ.
තමන්ගේ එදිනෙදා රාජකාරි අතරේ කාර්යබහුල මිනිසුන්ට ඔහුව නොපෙනීමේ ඒ හැටි පුදුමයකුත් නැහැ. නමුත් සමහර ඇස් ඔහුව මග හැරියේ වුවමනාවෙන් මයි. පාරේ සිටින සිගමන බිස්නස් එකක් කරගත්තු ව්‍යාජ යාචකයන් නිසාවෙන්. දැන් කාලේ කවුරුවත් විශ්වාස කරන්න බැරි බව ඇත්ත. නමුත් එවන් ජිවිත අතරේ කරකියා ගන්න දෙයක් නැතිකමට, දෑතේ වැඩක්වත් වෙහෙසී කරන්නට වාරුවක් නැතිකමට, එහෙමත් නැති නම් තමන් ආදරෙන් උස්මහත් කරපු දරුවන් පාරට ඇදලා දැම්මා නිසාවට කුස පුරවා ගන්නා කියක් හරි ඉල්ලා ගන්න හිතාගෙන පාරට බහින ජිවිත අපි නොදැක්කාට මහා පාරේ ඉන්නවා.
රුපියල් විස්ස, තිහ දාලා දවස හරියන්න කියලා දෙවියන්ට පාගා දෙනවට වැඩියෙන් යාචකයෙක්ට ඒ කිය හරි දෙන්න පුළුවන් නම් ඒක පිනක්. දුන්නයින් එහාට කවදාවත් හිතන්න එපා. ඒ සල්ලිවලින් ඔවුන් මොනවා කෑවත් බිව්වත් ඒ ඔවුන්ගේ රුචිකත්වය. ඔවුන්ගේ ආසාව.
සමහර විටෙක ඔබ නොදැනුවත්ව ඔබ අසරණ පවුලක කුසගිනි නිවාවී. රෝගියෙක් සුවපත් කරාවි. එහෙමති නැතිනම් නොදන්නා පුංචි දරුවෙකුට පාට පැන්සල් පෙට්ටියක් ගැනීමේ හීනේ සැබෑ කරාවි.
කවුරුත් තියෙන නිසාවෙන් සිගමන් යදින්න එන්නේ නැහැ. තමන්ගේ තියෙන දුප්පත්කමට පාරට බහිනවා මිසක්. ඔබට පුළුවන් නම් හැමදාම නෙවෙයි. ඒත් පුළුවන් විදියට ඒ ජිවිත ගැනත් හිතන්න.
ඒ වගේම දුන්නු දේ ට ඒ අය මොනවා කරාවි ද කියලා මහා හුගක් හිතන්න එපා. දුන් දේ සුවදයි කියනවනේ. පුළුවන් හැටියට තවත් කෙනෙක්ට උදව් කරලා අසරණ ජිවිත ආලෝකවත් කරන්න හයියක් වෙන්න. ආත්ම තෘප්තිය විතරක් තියාගෙන ජීවිතය ඉස්සරහට අරන් යමු.
හිතේ සතුට මුතු මැණික් රත්රන් වලට වඩා බොහොම වටිනවා.
සුබ නව වසරක් වේවා.
Wednesday, September 14, 2016
දුවගේ කොල්ලා හොයන අම්මලා වෙතයි..
කසාද ගැන කතා කරද්දි නැන්දම්මා
ලේලි වලි නම් අද කාලේ අනන්තය. අප්රමානය.. බෙලි ගස් වල ඔය හැටි ලාටු හැදෙන්නෙම ඔය
නැන්දම්මා ලේලි වලි වල තරම කියන්නය කියලා අපේ අත්තාලා මුත්තලා කතාවට කියන්නේ ද කට
කහනවාට නොවේය.
නැන්දම්මලා ලේලිලා වලි ගැන ඇහුනාට
අම්මලා දුලාගේ වලි ගැන නම් අඩුය කියලා කට්ටිය
ඔහේ කියෙව්වා ට ඒවා ඉතින් එහෙමමත් නෙවේය
ලජ්ජා බයක් නැති කෙල්ලට ඊයේ
පෙරේදා දවසක පරණ හිතවතියක් සෙට් උනාය. ඒ කෙලිගේ මේ ටික දොහේම ජිවන සටන් පාඨය වෙලා තියෙන්නේ
" අනේ අම්මේ මට ඕනේ එයාවමයි " කියන එකය.
හේතු කාරණා හොයාගෙන හොයාගෙන යද්දී අම්මලා
දුලාගේ රණ්ඩුවක්ය. වෙන මොකටවත් නෙවේය. විරිදු තාලයක් දාලා කරලා ගත්තා නම්
“ මන් කැමතී කොල්ලාට
අම්මා කැමති නෑනේ...
අම්මා කැමැති කොල්ලාට
කරගහන්න මට බෑනේ ... “
වගේ සීන් එකක් ය.
අම්මලා ඉතින් කොල්ලාගෙ රස්සාව, තරාතිරම, පරම්පාරාව,
ජාතකේ හොයලා පරස්තාව කතා කරාට දුවලාට ඔව්වා
අදාල නැති ය. හිත ගිය තැන මාලිගාව ය.. මාලිගාව ගොඩ නැගුවයින් පස්සෙ දුවලා කවුරුත් ජාතකේ
හෙව්වට ඒකත් ඉතින් ඕනාකමටම නොවේය. කොල්ලගේ ජාතකේ ගෙදරට ඉදිරිපත් කරන්න ඕනාවට ය.
කෙල්ල හොයා ගන්න කොල්ලාගේ ක්ලාස්
එක අම්මට මදි වෙන්නේ ඔතනදීය. කොහෙන් හෝ ලකුනු කපන එක කපනවාය. අම්මලාට දොසක්
කිය්නනත් බැරිය. අම්මලා ලෝකේ දකින ලෙන්ස්
එක දෝනියන්දෑට සැපවත් පික්චර් වල පෙන්වන තාලයේ ජිවිතයක් උරුම කර දීමය.
නමුත් දෝනියන්දලා හොයන්නේ
හැන්ඩ්සම් ආදරේ උතුරපු කොල්ලෙක්ය. සල්ලි නැතත් ආදරේ මල්ලක් පිරෙන්න දිය හැකි
කොල්ලා අගේය. එහෙම නොවන සල්ලි තියෙන පොස් කොල්ලෙක් හොයන දෝනියන්ද ලා ද නැතිවාම
නොවේ.
ලැජ්ජා බයක් නැති කෙල්ලගේ ලෙන්ස්
එකට පේන විදියට නම් ලෝකේ කෙල්ලෝ වර්ග තුනකි.
එක වර්ගයක් නම් සල්ලි නැතත්
කොල්ලාගෙ මුහුනත් තහඩුව කොහොම උනත් ආදරේ ඉස්මුරුත්තාවට දෙනවා නම් හිත එතැන නවත්තන
කෙල්ලෝය.
දෙවෙනි වර්ගයට නම් ඉතින් කොල්ලා
අනිත් කෙල්ලන්ගේ ඉරිසියාවට බදුන් කල හැකි තරමෙ හැන්ඩියෙක් විය යුතුය. කෙල්ලව ඇදුම්
සාප්පු , පොෂ් පාට අවන්හල් දිගේ රවුම් දෙක තුනක් එක්කන් යන්නට තරම් සල්ලි තිබිය
යුතු කොල්ලෙක් විය යුතුය. කොටින්ම කිව්වොත් කොල්ලා හැන්ඩ්සම්, බර අත්තක් විය යුතුය.
මේ දෙකටම අයිති නොවෙන තුන්වන
පන්තියේ කෙල්ලන් නම් මීක් ගෑවත් හිස නොඋස්සන පුටුවක් අල්ලන් කියුටස් ගගා නොඉද ගෙදර
දොරේ වැඩපල සියල්ල කරන වචනයේ නියමාර්තයෙනම අම්මාගේ හොද දුලා ය. අඩුම තරමේ අම්මාගේ
වචනෙට පිටින් පුටුවකින් ඉදගන්නවත් ඔවුන් අකැමතිය.
ඒ කෙල්ලන්ය. අම්මලා ද වර්ග
දෙකකි.
පලවෙනි වර්ගය බෑණා පොඩ්ඩ තමන්
කැමති ජාතියේ කොල්ලෙක් විය යුතුයි කියලා හිතන අම්මලාය. කොල්ලගේ පෙනුම, පරම්පරාව, ගුණ
යහපත්කම, සල්ලි බාගේ සේරම තරාදියට දාලා කිරලා මැනලා සුදුසුකම් සපුරන කොල්ලාට දෝණියන්දා
තෑගී කරන අම්මලා ය.
දෙවැනි වර්ගය නම් ආදරයට ආදරය කරන
අම්මලා ය. කෙල්ල හොයා ගත්තු කොල්ලා කෙල්ලට හොද නම් කෙල්ලට ආදරේ නම් අම්මටත් කේස්
එකක් නැතිය. ඒ අම්මලා කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේට ඕනා උනොත් බොක්කෙන්ම සපෝර්ට්
කරන්න උනත් ලෑස්තිය .
ඔය අම්මලා දෙවර්ගයයි කෙල්ලෝ
තෙවර්ගයි ගැන හිතුවාම ලජ්ජා බයක් නැති කෙල්ලට හිතෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියලා ය.
ඒත් ඉතින් පරහකට තියෙන්නේ ඔය
කෙල්ලගේ ලව් එකට බකට් දාන අම්මලා කසාද බැන්දයින් පස්සේ දිග කන්නත් කෙල්ලත් එක්ක
එනවද කියන එක උඩය. මගුල හොයන්නේ කරලා දෙන්නේ අම්මාය. ඒත් ඒ හොයන බෑණා කළු සුදු
නෙවේ අළු චරිතයක් උනත් දිග කන්න වෙන්නේ කඹුරන්න වෙන්නේ දුවට ය. මිනිසුන්ගේ උපන්
ගති ටික දිගහැරන්නේ දීගේ කෙරුනායින් පස්සේ කියන්නේ ද නිකමට නොවේය. එහෙව් එකේ අම්මා
හොයලා දෙන බෑණා එක්ක දිග කන දුවට දෙයියන්ගේම පිහිටය.
කොල්ලා හොද උනොත් නම් ඉතින්
හොදය. එහෙම නොවුනොත් ඉතින් විවාහය ගැන කතා කිරීමෙන් පලක් නැතිය. බටහිට සංස්කෘතිය
හැඩ ගැහුණු කොල්ලෝ කෙල්ලෝ නම් කසාද පොතට හිර වී සිටිනවාට වැඩිය වෙනත් සංස්කෘතියක් අනුගමනය
කරනවය.
ඒ ලිවින් ටු ගෙදර් සංස්කෘතිය ය.
ලෝකෙට පේන්න කසාදයක් කර ආයෙත් රට්ටුන්ගේ
අවලාද මැද කසාදෙ කටු ගානවට වැඩිය දෙන්නෙක් කලක් ආශ්‍රය කරන්නට එක වහලයක් යටට වෙන
එක හොදය. ඔවුන් කියන්නේ එහෙමය. ඉන් අනතුරුව එක්කෝ දීගේ කෙරෙනවාය. නැත්තම් දෙන්නා
දෙපැත්තකට වෙනවා ය.
ඕක ඉතින් අපේ වැඩිහිටි පරම්පරාවට
දිරවන්නේම නැති වීම ම වෙනම කතාවකි. ඒත් ඉතින් ඒ කාලෙත් අපේ ඔය කියන මහා ප්‍රෞඩ
ඉතිහාසය තුල ලිවින් ටුගෙදර් සංස්කෘතියම තිබුනේ ය. ඒ කාලේ එහෙම නමක් භාවිතා නොකලාට හිත
ගිය කෙල්ලව අරන් පැදුරු පෑගුවයින් පස්සේ එක පැලක් අටවාගෙන දරු මල්ලෝ හදන්නේ ද
ඉතින් ඔය කියන කසාද පොතක තියා කඩදහි කොලයකවත් සලකුණු නොකරය. ඕවාත් ලිවින් ටුගෙදර්
මය.
මෑත කාලින ඉතිහාසයේ නම් කසාද
ගෑනි ගෙදර ඉද්දි වෙන වෙන ඈයෝත් එක්ක වෙනම ලිවින් ටුගෙදර වෙන්න දිගින් දරු මල්ලොත්
හදපු උදවිය ඈත ගම් වල විතරක් නොවේය. ප්‍රසිද්ධ වේදිකාවේ පවා ඉන්නවා ය. අදටත් ඔවුන්ගේ
දරුවන්ගේ උප්පැන්නේ මව්පියන් අවිවාහකය.
පෙරදිග උදවියට ඕවා මැජික් උනාට බටහිර
සංස්කෘතියට නම් ඕවා සිම්පල් කතාය. ඕවා කැපිටල් කරගන්නට යන්නේ ද ඉතින් අපේ උදවිය
විහින්මය. බටහිර ලෝකේ සුද්දා අනුන්ගේ කුණු තමන්ගේ ඔලුව උඩින් තියා නොගත්තාට අපේ
උදවිය අනෙකාගේ කුණු බැරල් පිටින් ඔලුව උඩ තියාගන්න එක ඔය සේරටම මුලය.
මයි කාර් නම්, මයි පාකින් නම්, කොහෙන් පෙට්‍රල් ගැහුවාත් කාටවත් මොකද කියලා
කවුරු කවුරුත් හිතුවා නම් ඔය ප්‍රශ්න සේරම නතින් ය.
-
අරුණි
කළුපහන -
Monday, September 12, 2016
තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??
ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.
අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.
ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.
දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.
තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.
පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.
ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.
ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.
ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.
ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.
අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.
නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.
එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.
අරුණි කළුපහණ
අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.
ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.
දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.
තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.
පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.
ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.
ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.
ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.
ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.
අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.
නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.
එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.
අරුණි කළුපහණ
Subscribe to:
Posts (Atom)