Saturday, March 29, 2025

මිහිදුම් මතක - 02

 මේ මිහිදුමෙන් කදුකරය වැසුණු ගුප්ත දවස්.

වැහි අන්ධකාරය ගහක් කොළක් මලක් මනුස්ස ආත්මයක් නොපෙනෙන තරමට මහා දවාලෙත් පරිසරයම වෙලාගෙන. අපූර්වාගේ හිතත් හරියට අහස වගෙයි.


මේ දවස් වල අහසත් එකවරම කළු කරගෙන ඉසඹුවක් නැතිව එක දිගටම හඬා වැටෙනවා. සුසුම් හෙලමින්, මහා හයියෙන් වැලපෙමින්, තරහින් ඉක්මන් ගමනින් එහේ මෙහේ යමින්, අහස හඩා වැටෙනවා. ඉස්සර අහස ගෝරනාඩු කරත්දි අපූර්වා තිගැස්සෙනවා. ඒත් ජිවිතය කුණාටු වලින් පිරිලා ගියායින් පස්සේ තවත් බය වෙන්න තිගැස්සෙන්න හිතක්, හදවතක් ඉතිරි වෙන්නේ නෑ.


“ හදවතක් නැති කවිකාරී.. “


මිනිස්සු එහෙම කියනවා අපූර්වාට ඇහිලා තියෙනවා.


ඒත් තමන්ගේ ආත්මයේ තව දුරටත් කවිකාරියක් හුස්ම ගන්නේ නෑ කියලා අපූර්වා දැනගෙන හිටියා. ශාරද යන්න ගියේ කවිකාරිය මරලා කවිකම් පස් යට වල දාලා කියලා කාටවත් ඇහෙන්න කෑ ගහලා කියන්න අපූර්වාට ඕනි වුණේ නෑ. හැමදාමත් වගේ වාක්‍ය ගණන් පිළිතුරු ලියන්න ඕනි තැන් වලදිත් නිහඬවම බලා හිදින්න අපූර්වාට ඕනි වුණා.


“ ඊළග Counselling session එක කවදාද පුළුවන් අපූ.. “


ලාවණ්‍යා, අපූර්වාගේ මනෝ වෛද්‍යවරියගෙන් ඇමතුමක්.


ජිවිතය අත් හරින්නට ගත් උත්සාහයන් කිහිපයක්ම අවසානයේ අපූර්වාව නතර කරේ ලාවණ්‍යා ළග. හඩන්නට උරහිසක් දුන්නේ මිගාර. මැරුණ හදවතක් ජිවත් කරවන්න ඕනේ වුණේ වෙනුරට. හැම උත්සාහයක්ම අරගෙන ආයෙත් ජිවිතේ ගැන අපූර්වාට කියා දෙන්න හදන්නේ ලාවණ්‍යා. ඒත් හැම දෙයක්ම ළග අපූර්වාට දැනුනේ නිස්සාර හැඟිමක්. සති ගණන්, මාස ගණන් දිගින් දිගටම කතාබස් වු වචන සිය ගණනක් අතරේ අපූර්වා නතර වුණේ එකම මාතෘකාවක් ළඟ. එකම හැඟීමක් ළග.


“ අපූ.. “


අහස සන්සුන් වූ මොහොතක ආයෙත් ඇමතුමක්. ඒ ශාරද..


පිළිතුරක් නොදුන් ඇමතුම් කිහිපයක් අවසන, කෙටි පණිවිඩයක්.


“ මල් එව්වේ සොහොන් කොතේ තනියට නෙවෙයි අපූ, සොහොන් කොතක් ළග හරි, ආයෙත් මල් සුවඳ විසුරුණ මල් උයනක් වෙලා පිපෙන්න, බලාපොරොත්තුවක් දෙන්න.. “


ශාරද එහෙම ලියලා තිබුණා.


බලාපොරොත්තු, ශාරදගේ වචන අපූර්වාට සිනහවක් ගෙන දුන්නා. ඒක සෞම්‍ය, සන්සුන් සිනහාවක් නම් නෙවෙයි. ඒක වියරු ගුප්ත සිනහාවක්.


කාලෙකට කලින්ම ශාරදටම ලිව්ව කවියක් අපූර්වාට මතක් වුණා.


“ කතා අහගෙන ඉන්න තරු වලට

හිත ලියා දුන්න මොහොතක

ඔබ තමයි හිත නිවු මහා පිරිත

ආදරේ ලිව්ව දොළොස් මහේ පහන


කඳු අතර සැගව - තරු එළි විහිදන

මල් සුසුම් මැද - ස්නේහයේ සුවඳ මැව්ව

සඳ එළිය වගේ - රෑ පුරා රහස් කිව්ව

ඔබ තමයි හිත නොකියූ ඒ කවිය “


මහමෙරක් හිතේ දරාගෙන ලිව්ව ඒ වචන අපූර්වාට තවමත් ඒ විදියටම මතකයි. කතා බස් මැද ගෙවුණු රැයක, ළග තිබුණු කටු කොළයක ලියවුණු ඒ අකුරක් ගානේ තැවරුණේ ආදරය.


“ ආදරය “


සමහර වෙලාවට, සමහර සම්බන්ධතා වලට ඒ අකුරු හතරත් බර වැඩියි. ඒත් ඒ හැම කතාවක්ම පටන් ගත්තේ ශාරද, අවුරුදු ගානක් තිස්සේ ඒ හැම කතාවකට මුල පුරන්න මඟක් හෙව්වේ ශාරද. ඒත් ඒ ආදරයටම, තමන්ම හෙව්ව, තමන්ම ළගා කරගත්ත බැඳිම් වලටම නිගා දුන් මිනිසෙක්, දැන් බලාපොරොත්තු ගැන කතා කිරීමම අපූර්වාට සිනහාවක් ගෙන දුන්නා.


“ කවිකාරියගේ හදවත අයිති කර ගැනිම මරණීය පාපයක් ද අපූ? “


“ කවි වලට නිමිති වුණ පිරිමි ආත්ම අතරේ කුරුසියක ඇණ ගැහෙන්න ඔය තරමටම බයද ශාරද? “


“ සියයකින් එකක් වෙනවාට වඩා, කවි කිණිසි වලින් රිදෙන එකම එක හදවත දරාගෙන ඉන්න එකයි අමාරු අපූ!


2022.08.17

මිහිදුම් මතක

 තරු පිරුණු අහසක් කියන්නේම කවි පොකුරක්. වැහි මීදුමෙන් වැහී ගිය පාරක් කියන්නේම මනෝ ලෝකයකට නිමිත්තක්. උණුසුම් කෝපි බදුනක් ලියන්නට උත්තේජනයක්. ඒත් හිතන්නවත් ලියන්නවත් නොහිතෙන අනන්තයක අපූර්වාගේ හිත නතර වෙලා තිබුණා. මේ කිසිම දෙයක් නොලිවී ගෙවෙන කී වෙනි අවුරුද්දද අපූර්වාට මතක නෑ.ඉරි තැලුණු, බිදුණු සමනලෙක්ගේ අත්තටු හිමිහිට සැලෙන හැගිමක් අපූර්වාට දැණුනා. අත්තටු සැලෙනවා කියන්නෙම තව තවත් බිදෙන එක. ඉරි තැලෙන එක. රිදෙන එක.


අතීතයේ ඉරි තැලුණු සුව වෙන්න නම් ඔයා ලියන්න ඕනි. ලියලා නිදහස් වෙන්න ඕනි.. අපූර්වාගේ සිත කෙදුරුවා.


ඒත් අපූර්වාගේ හිතවත් ඇඟිලිවත් ඒකට සුදානම් නැහැ.


“ ඔයාට තියෙන්නේ මායාකාරියකගේ ඇඟිලි.. “


දවසක් ශාරද එහෙම කිව්වා.


“ ඇයි.. ?


කොයි වෙලේත් සිනාමලක් විසිරෙන දවස් ඒ.


“ මල් වැස්සක් වහින කවියක් ලියයිද, මුවහත් දැලි පිහියක් වගේ හින්ට් එකක් වදින කතාවක් ලියයිද කවුද දන්නේ.. “


“ ඒත් ඇයි මං නවකතාකාරියක් නොවී මායාකාරියක් වෙන්නේ.. “


“ ඔයා එතකොට මං දන්න අපූ නෙවෙයි. ආගන්තුක කෙනෙක්. මායා ලෝකෙක ඉදන් ලියනවා වගේ එක හුස්මට ලියනවා. භාවනාවක සම වැදිලා වගේ කල්පනා කරනවා. ආයෙත් ලියනවා. ඒ ලියන ඒවා කියෙව්වාම සතුටු වෙන්නද අඩන්නද බය වෙන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. “


අපූර්වා කිසිවක් නොකියාම ඒ ඇස් දිහාවේ බලන් හිටියා.


සායම් වලින් විසිරුණ තිත් ඔහුගේ අතක තිබුණා. ඒ උරහිස පින්සල්, කැන්වස් පිරුණු රෙදි බෑගයක බර ඉසිලුවා. අනිත් අත අපූර්වාගේ අතින් අල්ලාගන්නට දිගු වුණා. එහි විසල් රේඛා අපූර්වාට තවමත් මතකයි.


“ එහෙම අතකට පුළුවන්ද මිනිහෙක් මරන්න.. “


අපූර්වාගේ හිත කෙදුරුවේ වර්තමානයත් අතීතයත් අතර දොඩමලු වෙමින්.


“ මං මටම වෛර කරනවා. ලැජ්ජා වෙනවා, මං කොහොමද එහෙම මිනිහෙක්ට ආදරේ කරේ මිගාර.. “


අපූර්වා දිගු සුසුමක් අතරින් කෙටි පණිවිඩයක් යැව්වා. කෙටි පණිවිඩයට මිගාර දුන්නේ පිලිතුරු දුන්නේ ඇමතුමකින්..


“ අපූ.. “


මනුස්ස ආත්මයකට හොඳම මිතුරෙක් ඕනි වෙන්නේ ආත්මයේ රිදුණු තැන් කියලා නිදහස් වෙන්න. හිත නිදහස් වෙනකම් අඩන්න. එතැනදි ඇහුම්කන් දෙන්න කෙනෙක් මිසක්, උපදේශන සේවයක්, මඟ පෙන්වීමක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපූර්වා අකැමතිම ප්‍රශ්න අහගෙන ඉදලා ප්‍රශ්න විසඳලා දෙන්න උත්සාහ කරන මිනිසුන්ට. මිගාර අපුර්වාව අවුරුදු දහයක් තිස්සේ හොඳට තේරුම් අරගෙන හිටියා.


සමහර වෙලාවට වෙනුරටත් වඩා. “ නිත්‍යානූකූල ස්වාමි පුර්ෂයා” කියන්නේ ලයිසන් එකක්. ලයිසන් එකකින් බැදීම් ගොඩ නැගුවාට හැඟිම් ගොඩ නගන්න අමාරුයි.


“අපූ.. “


මිගාර තවමත් කල්පනාකරන අපූර්වාගේ ඇමතුමේ රැදිලා හිටියා.


“ මට මහන්සියි මිගාර... “


“ මොකද වුණේ.. “


“සිංදුවක් ඇහුවා. “


“ මතක අලුත් වුණාද.. “


“ ඔව්.. ඒ සිංදුව අවුරුදු ගානකට කලින් අහපු වෙලාවේ දැණුණ හැඟීමම මට ආයෙත් දැනෙනවා මිගාර.. සිංදු හරියට කාලය හරහා අපිව ගෙනියන යතුරු වගේ.. “


“ වැරැද්ද සිංදුවේ නෙවෙයි අපූ.. වැරැද්ද තියෙන්නේ ඔයාගේ.. එතැනින් නිදහස් වෙන්න. ආයෙත් ලියන්න. හිත නිදහස් වෙන්න නම් ඔයා ඒ සේරම ලියලා විසික් කරන්න “


“ මොනවා කොහොම කොතනින් ලියන්නද මට තේරෙන්නේ නෑ.. “


“ ඔයා ඔය ආදරේ කරේ චිත්‍ර අදින මිනිහෙක්ට.. ඒ නිසා ඔයා චිත්‍ර අදින්නත් පුරුදු වුණා. එයා නැතිවත් ඔයා තවමත් අදිනවා. එහෙනම් ඇයි අකුරු වචන විතරක් මඟ හරින්නේ.. “


“ මං චිත්‍ර අදින්නෙත් නෑ. සිංදු අහන්නේත් නෑ. ඉබේ ඇහුණොත් මිසක.. ඇහුණත් ඒ සිංදු නිසා මං පිච්චෙනවා.. “


“ ආදරේ කියන්නේ ජිවත් වෙන්න බලාපොරොත්තු දෙන එක වුණත්, වෙන්වීම කියන්නේ මරණයක්ම නෙවෙයි අපූ.. “


“ මං තියන්නම් මිගාර.. “


අපූර්වා ඈමතුම විසන්ධි කරේ මිගාර පිළිතුරක් දෙන්නත් කලින්. මිගාර එයට හුරු වෙලා කියලා අපූර්වා දන්නවා.


“ මිස්.. මල් පොකුරක් ඇවිත්.. “


චාන්දනී කැලෑ ඩේසි මල් පොකුරකුත් අරගෙන දොරෙන් මතු වුණා.


“ කාගෙන්ද චාන්දනී.. “


“ නමක් ගමක් කිව්වේ නෑ.. සුබ පැතුමක් ලිව්ව කාඩ් එකක් විතරක් ඩිලිවරි සර්විස් එකෙන් දුන්නා.


කැලෑ ඩේසි මල් සුවඳත් සමඟින් අපූර්වා එක්ව සිහිපත් කරන එකම එක ආත්මයක් විතරක් අපූර්වා දැනගෙන හිටියා. සායම් සුවඳ විහිදුණ අත් අපූර්වාගේ හිතෙහි ඇදුණා. ඒත් ඒ කාඩ් එකේ කිසිම නමක් නොලියා නන්නාදුන ලෙසින් සුබ පැතුමක් පමණක් ඇති බව අපූර්වා දන්නවා.


“ ජිවිතේ අමු සොහොනක් කරලා, මල් එවන්නේ සොහොන් කොතේ තනියටද ශාරද..”


උපන්දින සුබ පැතුම් පතත් මල් පොකුරත් දෙස හිස් දෑසින් බලා හුන් අපූර්වා මල් පොකුරට කෙදුරුවා. කසළ බදුනෙහි මල් පොකුරත් සුබ පැතුමත් රැදෙද්දි අපූර්වා ආයෙත් හිස් බැල්මෙන් අහස දිහාවේ බැලුවා.


වළාකුළු පිරුණු අහස වැහි අන්ධකාරයෙන් පිරිලා තිබුණා. ඒත් ගම් දනව් පිරි ඉතිරෙන්න අඩන්න හේතු තිබුණත් සමහර වෙලාවට අහසත් නොහඩා දරා ගන්නවා ඇති. ඝන හුළගකින් බර සුසුම් හෙලා ලය සැහැල්ලු කර ගන්නවාත් ඇති. කදු අතරින් එහා මෙහා පාවෙන වළාකුළු අතරේ කාටවත් නොකියන කතන්දර කොයි තරම් නම් ඇත්ද?


2022.08.11

Saturday, March 20, 2021

🍀 01 🌸

" මල් පිපෙන්නේ මල් සුවඳ අරන් සිරිපා වන්දනාවේ යන සමනලුන්ට, තරු පිපෙන්නේ මහා රෑටත් වන්දනා නඩ වලට එළිය දෙන්න, සෙත් පිරිත් සජ්ජායනා කරන්නේ හිත නිවෙන්න, සීතල හුළඟ ඉන්නේ මහන්සිය නිවන්න, දන්නවද දේවා, සිරිපා වන්දනා කාලෙට දේවතාවියෝ දෙව් ලොවින් ඇවිත් සිරිපා අඩවියේ සැරිසරනවාලු. මල් සුවඳින් පිරුණු වනාන්තර අතරින් පාවෙලා යනවාලු. මනුස්ස වාසයක් ලං වුණාම සුදු සමනල වෙස් ගන්නවාලු. අහසේ තියෙන තාරකා සිතියම් අතරින් පාර හොයාගෙන වන්දනාවේ යන සමහර සමනළියන් ආපහු මේ පොළවේම නතර වෙනවාලු. දේවාත්මය සමන් දෙයියන්ගේ අඩවියේම කැප කරලා එහෙම නවතින්නේ ඇයි කියලා ඔයා දන්නවාද? "පාලු රාත්‍රියේ නිහැඩියාව බිඳිමින් වචන හෙව්ව අග්‍රගේ හඬ අඳුරු අහසේම තැනක මොහොතකට නතර ව තිබුණා. දේවාගේ හුස්ම ගන්නා හඬ විතරක් දුරකථනයකින් ගලා ආවා.

" දේවා.. ඔයා අහගෙන ද ඉන්නේ.. ? "

" හ්ම්ම්.. "

" එහෙනම් මොකුත් කියන්නේ නැත්තේ.. "

" මං තරු බලනවා. "

" තනියම.. මේ රෑ.. "

" හ්ම්ම්... "

" දීව්‍ය ලෝකයේ ඉදන් යාළුවෝ අතවනනවා ද දේවා.. "

ඔහුගේ සිනහා හඬ දුරකථනයක් දිගේ ගලා ගෙන එත්දී දේවාගේ හිත මොහොතකට නතර වුණා. හැමදාමත් දේවාගේ හිත නතර වුණේම හිත නිවන ඒ සිනහාව ළඟ. ඒ හිනා හඬ තවමත් හිත ඇතුලේ දෝංකාර දෙනවා වගෙයි. ඒත් හැම දෙයක්ම දැන් අතීතයක් වෙන්න යනවා කියලා දේවාගේ ගැහැණු හිතට දැනුනා.

" උඹ නම් හිත රිද්දවීමේ උපත.. ඒත් උඹම රිද්දලා උඹම අඩනවා. ඇයි දේවා?? "

මාෂාගේ හඬ දේවාගේ ඉකි බිදුම් හඬ අලුත් කරා.

" මට පාලුයි මාෂා. අග්‍ර නැතිව මට පාලුයි.. "

" ඇයි උඹ ආදරේ කරේ කියලා මට අහන්න බෑ.. ඒත් අග්‍ර උඹට ලං වෙන්න එත්දී උඹ පැනලා දිව්වා. මහා හුඟක් දේවල් කියලා හිත රිද්දුවා. දැන් අග්‍ර ආපහු හැරිලා යත්දී උඹ අඩනවා. එපා නම් ලං නොවී ඉන්න තිබුනා. ඇයි දේවා.. උඹ ඌට ආදරෙයි. උඹ ඒක තේරුම් ගන්න කැමති නැහැ. "

" මට තේරෙන්නේ නැහැ. මොනවත් මට තේරෙන්නේ නැහැ. මට දැනෙන එකම දේ අග්‍ර නැති හැම මොහොතක්ම මට දරන්න බැරි තරම් පාලුයි කියලා විතරයි. “

“ ඒ විතරක් ද? “

" නැහැ. අග්‍රට වෙන අය ලං වෙත්දී මාව පිච්චෙනවා මාෂා. අග්‍ර ඒ අය එක්ක හිනා වෙත්දී, මං ආදරේ කරපු හිනාව ඒ කතා අස්සේ දෝංකාර දිදී මට ඇහෙද්දී මාව හීරෙනවා, අග්‍රව දකින හැම වෙලාවක මං ඒ මනුස්සයාට කොච්චරක් ආදරේ ද කියලා මගේ හිත මට වද දෙනවා. මුණක්වත් නොදැක මං ආදරේ කරපු ඒ ආත්මය මගේ ඉස්සරහා දවස ගානේ හුස්ම ගන්න යන්නේ කියලා දැන දැන අග්‍ර ජිවත් වෙන සීමාවට මං ආපු එකයි වරද මාෂා. එදා මං අග්‍රගේ හිත සෙල්ලමකට ගත්තා. අග්‍ර කියන ආදරේ කතන්දර බොළඳ කතා කියලා හිතල මං ඒවා විහිලුවට ගත්තා. ඒ හිත එක්ක සෙල්ලම් කරා. ඒත් දැන් මට ඒ හැමදේම අතහැරලා ආයෙත් නොදකින දුරකට පැනලා යන්න ඕනි. මේ හැම හැගීමකින්ම ගැලවෙන්න ඕනි. "

" උඹ කලබල වෙලා දේවා.. "

" මට මාවම නැතිවෙනවා මාෂා. මට මාවම නැති වෙනවා. අවුරුද්දක් තිස්සේ මං හිනාවුණු ඒ සිතුවිලි දැන් කාන්දමක් වගේ ඒ මනුස්සයා දිහාවටම මාව අද්දනවා. “

" දේවා, හැමදාම කැම්පස් ඇරිලා කැෆේ එකට යන්න ඕනි කියලා තීරණය කරේ උඹ.. "

" අග්‍ර එතැනට හැමදාම සින්දු කියන්න එනවා කිව්වම මට බලන්න ඕනි වුණා. ඒත් ඒ එයාට හොරෙන්. එයාගේ ඇහැ නොගැටෙන සීමාවේ ඉදන්. එක මොහොතකට එයා හුස්ම ගන්න ඒ වහල යට ඉදන් එයා දිහාවේ බලන් ඉන්න මට ඕනි වුණා. ඒකයි මං එතැනට ගියේ.. “

" අග්‍ර මෝඩයෙක් නෙවෙයි දේවා. උඹ දුවගෙන එන බව දන්නා නිසාම තමයි අග්‍ර උඹට ඒ ගැන කිව්වෙත්. "

දේවාශ්‍රීගේ දිගු හුස්ම බොහෝ කතන්දර නොකියා කිව්වත් ඒ හඬේ පසුතැවීමක් වුවා දැයි මාෂාට නිශ්චිතව සිතා ගන්න නොහැකි වුණා.

" අවුරුද්දේ හැමදාම එයා කාටත් කලින් කතා කරේ මට, ජිවිතේ හැම පුංචි කතන්දරයක්ම එයා කිව්වේ මට, අවුරුදු ගණන් පරණ ගම් වල පුරාවෘත ගැන, සද එළිය දිගේ පාර කියන තාරකා අස්සේ හැංගුණු මනුස්ස ජිවිත ගැන, මායාකාරී ලෝක ගැන, මං තවමත් ආදරේ කරන කතන්දර ගැන එයා කියා දුන්නේ මට, එයාගේ ලෝකේට මං එනකොට එයා හිටියේ තනියම. මං හිතුවේ එයාගේ ලෝකේට මම ඇරෙන්න ආයෙත් වෙන කවුරුවත් එන එකක් නැහැ කියලා. ඒත් ඒ ලෝකේ මම ඇරෙන්න තව හුඟ දෙනෙක් ඉන්නවා කියලා දකිද්දී, දැනෙද්දී මට දුකයි මාෂා. එයාගේ ජිවිතේ සුබ නිමිත්ත මම කියලා කියපු මනුස්සයෙක්ට, එයාගේ හිත නිවන හුස්ම මම කියලා විශ්වාස කරපු මනුස්සයෙක්ට එහෙම වෙනස් වෙන්න පුළුවන්ද මාෂා, ඒ තරමටම වෙනස් වෙන්න පුළුවන්ද? “

“ උඹ කරන ඒ වෙනස්කම් දරාගෙන අග්‍ර අවුරුද්දක්ම උඹ ළගින්ම හිටපු එකම ආදරේ නෙවේද දේවා? ඒත් ඒ ඉවසීමටත් දැන් මහන්සි ඇති. “

“ එහෙම මහන්සි දැනෙනවා නම් ඒක ආදරේ වෙන්නේ කොහොමද? එයා ආදරෙයි කියලා මට දැනෙන්න හරිද්දි මං එක පාරම කැමතියි කියන්න ඕනිද? මට ඕනි වුණේ එයාගේ ආදරේ අනන්තය තරම් දුර කියනවාද දකින්න, ජිවිත කාලේම මාව දරාගන්න පුළුවන්ද බලන්න, පුංචි දේවල් ළගත් ඒ ආදරේ වෙනස් නොවී ආදරේ දෙනවාද දකින්න. මට ජිවිතේ පුංචි පුංචි කාර්තු වලට බෙදලා මිනිසුන්ට ආදරේ බෙද්දන්න බෑ මාෂා, මේ සංසාරයට මං එක්ක ඇවිදගෙන යන්න එන ආදරයක් මට ඕනි, මගේ ජිවිතේ හුස්ම අහුරම එක පිරිමි පපුවක නිදහස් කරන්න මිසක් අතින් අතට යන බෝනික්කියක් වෙන්න මට බැහැ. ඒත් එයා ඒක තේරුම් ගන්නේ නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා එයාගේ ලෝකෙට බලෙන් එබෙන්න එන එක එක්කෙනා ළං කරගෙන සතුටින් හිනාවෙනවා. මට රිදෙනවා කියලා දැන දැනත් එයා එයාට තවත් ලෝකයක් තියෙනවා මට පෙන්නනවා. සමහර විට මෙච්චර කල් එයාට රැවටිලා තියෙන්නෙත් මගේ හිතම වෙන්නත් ඇති. “

“ හෝව් හෝව් හෝව්ව්. පොඩ්ඩක් ඉන්න දේවා. පොඩ්ඩක් සන්සුන් වෙන්න. අග්‍ර උඹට ආදරෙයි, ඒක මට විශ්වාසයි. ඒත් උඹ කලබල වෙලා අනන්තයකටත් වඩා දුර හිතනවා. හැමදාම අග්‍ර විතරද උඹට රිද්දුවේ, උඹ උඹට කොල්ලෙක් ඉන්නවා කියලා එයාට බොරු කරලා අග්‍රව රිද්දුවා. ඒත් අග්‍ර ආපහු හැරිලා යන්න ගියේ නෑ. ඊට පස්සේ එයාට පේන්න වෙන කොල්ලෝ එක්ක කියව කියව හිනාවෙවී අග්‍රට රිද්දුවා. ඒ මොනවාද එතකොට, උඹ එහෙම රිද්දනකොට අග්‍රට කොච්චරක් රිදෙනවා ඇතිද දේවා, ඒත් ඒ දේම එයා උඹට ආපිට කරලා පෙන්නද්දි උඹට දරාගන්න බෑ.. “

මාෂාගේ කතා බොරුවක් නොවන බව දේවා දන්නවා.

“ ඒත් මාෂා, එයාට ජිවිතේ අමාරු කාල වල මං ළගින්ම හිටියා, මටත් වඩා මං එයා ගැන හෙව්වා. ඒත් මට ජිවිතේ අමාරු වෙත්දි ඇයි එයාට බැරි මං ළගින්ම ඉන්න. අද මං විතරක් පාළු කාන්තාරෙක තනි වෙලා. එයා කට්ටිය පිරිවරාගෙන සතුටින් හිනාවෙනවා. “

“ උඹ ආත්මාර්ථකාමී දේවා, ආදරේදි හයියක් වෙන්න ඕනි වගේම අමාරු කාල වල විතරක්ම නෙවෙයි හැම තත්පරේකම ආදරේ දෙන්නත් ඕනි. හිත් කැඩෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. තවමත් උඹ ගැන වද වෙන නිසා තමයි ඌ එහෙම උඹව ඉවසන්නේ.. “

“ නෑ එයා මං ගැන හොයන්නේ නෑ. මට එක කෝල් එකක් දෙන්නේ නෑ, හිත හැදෙන එක වචනයක් කියන්නේ නෑ. හිටපු ගමන් මොකක් හරි හිත රිදෙන වචන පේළියක් ටයිප් කරලා එවලා මාව අඩවනවා මිසක්. “

“ එහෙම ඇඩුවත් ආයෙත් කෝල් එකක් අරගෙන, මං තරහා නෑ දේවා.. කියන්නෙත් ඒ අග්‍රම නේද දේවා? “

මාෂාගේ වචන වලට දෙන්න උත්තරයක් දේවා ළග තිබුණේ නෑ. ඒ වෙනුවට අහසේ තියෙන තාරකා අස්සේම නැවතිලා හිටපු කාලයට ආපහු යන්න තිබුණා නම් කියන හැගීම විතරක්ම දේවාගේ හිතේ හොල්මන් කරා.

අග්‍ර සදස්වි ගුරුදෙණිය,, දේවාට හම්බ වීමම අහම්බයක්. ඒ අහම්බය වාසනාවද අවාසනාවද දේවා තවමත් හිතනවා. අග්‍රගේ අප්පච්චිගෙන් දේවා චිත්‍ර ඉගෙන ගන්න ගියේ අවුරුදු තුනකට විතර ඉස්සර දවසක. ඒත් ඒ එක දවසකවත් අග්‍ර ඒ කලා ආයතනයේ හිටියේ නැහැ. ඒත් කලා ආයතනය පිටිපස්සේ තිබුණ අතීත කාලයට අයිති මහා ගෙදර බිත්තියක, මැටි පිඩක් අතින් අරගෙන අපූර්ව මූර්තියක් නිර්මාණය කරන ලස්සන පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් තිබුණා දේවාට මතකයි.

ඒත් මීට අවුරුද්දකට කලින් අහම්බෙන් වගේ ජිවිතේට එබුණු අග්‍රත්, බිත්තියේ පින්තුරේ ඉදන් තමන්ගේ හිතේ රූප ඇන්ද ගුරුදෙණිය සර්ගේ පුතා සදස්විත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා දේවාට මතක් වුණේ සෑහෙන කාලයකට පස්සේ.

ඒත් ඒක දිග කතාවක්.

අරුණි කළුපහන


                                    

Monday, February 15, 2021

කෝපි

වැඩියෙන්ම මතක අපි ලිව්වේ
මැදියම් රැයේ දිගු මාවත් වල
නයිට් කඩවල කෝපි සුවදට
හිත රිදෙන්නේ තවමත් ඒකයි
සුසුම් අහුරක් පොදි බැදගෙන 

කවි ලියවුණේම රෑ අහසේ
තරු පිරුණු හෙවණ යට
ඒත් අපි කවදත් හිටියේ
දුර ඈත අන්ත දෙකක

ලයාන්විත ගී ස්වරයක්
අදත් රාත්‍රියේ පාළු මකන
කවුරුන් ලිව්වාදැයි නොදන්න
ගී සිංදුවක පද අරුත්
හිතේ රිදුම් තුරුළට ගෙන 

එදා පුර සද අඩ සදක් වී
අදත් එතැනම ඒ විදියටම
ඒත් කවිම ලිව්ව හිත විතරක්
ගව් ගානක් දුර ඈත කන්දක
මීදුම් අස්සේ තරු එළි හොයන 

අරුණි
2021 February 07

01:50 am





Thursday, April 23, 2020

මිහිදුම් සිහින


රාත්‍රියත් දහවලත් එකිනෙක වෙන් කර හදුනාගත නොහැකි තරමට දසත වෙලා ගත් අදුර ඝනකම්ය. වැසි වැටෙන සීතල රාත්‍රීන් ළගද හිරු එළියෙන් උණුහුම් විය යුතු දහවල ළගද මා තවමත් සියළු ජනේල අගුළු දැමු කාමරයක ස්ව කැමැත්තෙන් සිරගතව හිදිමි. බාහිර ලෝකය හා ඇති දුරස්ථ බව නිනව්වක් නැති තරමට දුරකථනය කාර්‍යබහුලය. දොඩමලු වන සිත් කියනා කතන්දර ළග සිනාසෙමි. දුරකථනය පසෙකලා අදුරට ඇද කරමි. සුන්දර වදන් සිහිපත්ව සමනළයෙකු තටු ගසා ඉගිල්ලෙන්නා සේ ඉගිලෙමි. එහෙත් පරිසරය වෙළා ගත් ඝනදුර සිහිපත්ව සියළු සිනා මකා දමමි. දිගු සුසුමක් හෙළමි.

අත්දැකීමෙන් හෙම්බත් ව සියල්ලෙන් සමුගන්නට හුස්ම අවසර ඉල්ලන කෙදුරුම නෑසුණා සේ හිදිමි. විටක හදවත වෙලා ගත් රිදුම් දරාගත නොහැකිව හඩා වැටෙමි. නොමැති බව දැනමුත් ශක්තිමත් සිනා අහුරක් අදුරේ අතපත ගා සොයමි. සිහින ලියූ සටහන් සොයා පිටු එකිනෙක ආදරයෙන් පිරිමදිමි. හරිත වනයක තැනු ලී නිවහනක මතක දිගේ සිතින් දුර යමි. මිහිදුම් කදුකරයට වැටෙන වැහි හිරිකඩ ළග තෙමී හිනැහෙන මල් සිහිකර හද ආදරයෙන් පුරවමි. හරිත යාය දිගේ සමනලුන් හා බෝ දුර දිව යන ආලයේ පින්තාරු අග සිත මොහොතකට නතර කරමි. වසර දස දහස් ගණනක් පැරණි මතකයක වෙළි අතීතයේ නටබුන් දිගේ දිව යමි. හද තවන හිත් නිවන සුසුම් මෙන්ම වදන් ද ඒ අතරින් මැවෙන විට යළි හිනැහෙමි. ඉතින් කවියකට පද ගලපමි.

සන්සුන් පරිසරය පුරාවට හඩ දෙමින් ඉගිළ යන, කවුළු හැර දමන්න යැයි ඉගි කරන ගිරා මලිත්තන් සේම චූටික්කන්ගේ හඩද වෙන් වෙන්ව හදුනා ගනිමි. ගොම්මන් වෙලාවේ හද රිද්දන මොණරෙකුගේ නාදය දරා ගනිමි. ඈතින් එන මහා හඩ වැස්සක පෙර නිමිති බව දැන සවන් යොමමි. වැහි කැට එකිනෙක ඇද වැටෙන විට හද පුරවන දුහුවිලි සුවද ස්නේහයෙන් වැලදගමි. බොහෝ ඈතක හිද හිතක් කෝපි සුවද සිහිපත් කරන විට සීතල පොළව මත දෙපා තබා කෝපි සුවද වෙනුවෙන් පියවර තබමි. කෝපි ඇට කබලෙහි බැදෙන පැරණි ගෙදරක ඒ අත් සිහිපත්ව හෙමිහිට කදුළක පහස කම්මුලක් මත අලවමි. දිගු සුසුමක් සමගින් හද රිද්දන තනුවක් හිමි ගීයක් ළග මොහොතකට දැහැන් ගත වෙමි.

යළිත් නිමාවක්, නිවීමක් නැති මාවතක සිහින පසෙකලා හැල්මේ දිව යමි. සිනා මල් පෙත්තක් සමගින් කදුළු පොකුරක් වැළදගමි. තනිකමෙන් පිරුණු අත් හැරීමක් සොයන හැගීම් අහුරක් සමග ‍යළි තනි වෙමි. අත් හැරීමට පාර කියන අධි මාත්‍ර ඔසු රැගෙන මිටකට ගුළි කර ගනිමි. කදුළු මුහු කළ කෝපි උගුරු සමගින් සිරුර තුළ නිදන්ගත කරමි. ගී තනු නවතා පිරිත් සජ්ජායනයකට ඉඩ සලසමි.

ඉතින් හිනැහෙමි. ප්‍රකාශිත සහ අප්‍රකාශිත ප්‍රේමයෙන්

ඔත්පල වූ හදවත දරාගෙන අගුළු දැමු කාමරයක හිද හඩනගා හිනැහෙමි. ඉසිඹු ලබන සතුටේත් සිහින අහිමි වූ වේදනාවේත් කදුළු පිටි අත්ලෙන් පිස දමමින් නොනවත්වා හිනැහෙමි.

- Aruni Kalupahana​



Thursday, March 12, 2020

යළි නොඑනා මතක අපේ

වෙනදාටත් වැඩියෙන් ගොඩ ගැහුණ වැඩ ගොඩක් තියාගෙන, වෙනත් ඉසව්වක් දිහාවේ ඇස් හරවන්නවත් ඉඩක් නැති තරම් කාර්යබහුල දවසක්. හෙමිහිට සංගීත තාල වාදනය කරමින් හිත් සැහැල්ලු කරන්නට උත්සාහ කරන දුරකථනය පසෙකින්. හිත ආයෙමත් අවුරුදු ගානක් පිටුපසට ඇඳලා දාන තනුවක් එකවර සවනත වැකෙද්දීම හිත මොහොතකට හිර වුණා. සිහින් සීරුමක් වගේ කැපුමක් හදවත මත්තේ ඇදෙනවා දැනෙද්දි ඇස් පිහාටු එකිනෙක තදින් අල්වා ගත්තේ වේදනාවෙන්. ඉහළට ගත්තු හුස්ම පහළට නොගෙනම රදවා ගත්තේ ඇස් පිහාටු අස්සෙන් එළියට කඩා වැටෙන්න දඟලන කදුළු බිදු වලටත් සීමා පනවමින්.

අවුරුදු ගානකට පස්සෙත් ඒ වේදනාව තාමත් ඒ විදියටම දැනෙනවා.හිත හදා ගන්න බැරි තරමට හිත ආයෙත් කෑලි වලට කැඩෙනවා.

" මද පවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ "

ගීතයේ ඒ වචන, හඬ තනු අතීතයේ දවසක ආදරය අත් හැරුණු දුකින්, කෑ මොර දිදී හඬපු කෙල්ලෙක්ව මට ආයෙත් සිහිපත් කරනවා.

" අම්මි.. එයාට මොකද වුණේ. "

මගේ හැගීම් කියවන හය හැවිරිදි චුටි දූ මගේ පසෙකින් තියෙන පුටුවක ඉදන් අහනවා මට ඇහෙනවා.

" යන්න ගියා පුතේ. "

මොහොතක නිහඩව ඉන්න මම හෙමිහිට උත්තරයක් ගලපනවා.

“ එයා මැරුණද? “

පුංචි දේවාගේ හඩ මගේ හිත මොහොතකට හිර කරනවා. ආයෙත් දිගු තත්පර කිහිපයකට පස්සේ මම නැහැයි කියන්න හිස දෙපසට සලනවා.

“ එහෙනම්, අම්මීට එයා නැතිව ගොඩාක් පාළුද.. “

“ ඔව් මැණික... “

මගේ හඩ බිදෙනවා. ඒත් ඒ බිදෙන අම්මාව දැන් දේවාට පුරුදුයි.

“ මාව අම්මීට දුන්නේ එයා නේද? “

“ ඔයාට මේ තරම්ම ආදරේ කරන්න ඒ ආදරේ මට කියා දුන්නේ එයා පුතේ.. “

මම වචන අහුලනවා.

“ එයා යන්න කලින් අම්මීට මාව දෙන්න ඇත්තේ අම්මී පාළුවෙන් අඩයි කියලා වෙන්න ඇතී... දැන් මං අම්මී ළග ඉන්නවානේ.. අම්මී අඩන්න එපා.. හාද? “

පුංචිකමට බොහෝ දෑ හුස්මක්වත් නොගෙන කියවන දේවාට පිළිතුරක් නොදී මම හිස් අවකාශයේ ඉහළට දෑස් හරවනවා.

මගේ මුළු ලෝකයම දේවාගේ තාත්තා සරිත් වෙද්දි දේවාගේ අම්මා ළග මාව සරිත්ට අතෑරුණා කියලා දේවාට තේරුම් කරන්න මට හිතෙන්නේ නෑ. ඒ දෙන්නාගේ එකතුවේ සළකුණ දේවා කියලා දේවා දන්නේ නෑ. දේවා ඉපදුණ වෙලාවේ දේවාගේ අම්මා දේවා රෝහලේම තියලා යන්න ගියා කියලා මට දේවාට කියන්න බෑ. දේවාගේ තාත්තාත් දේවාට ආදරේ දෙන්න ප්‍රතික්ශේප කරා කියලා දේවා දැනගන්න ඕනි නෑ. මං වගේම අසරණ වුණ සරිත්ගේ ලේ වලින් පිපුණු ඒ මල් කැකුළ මං අරන් ආවා කියලා තේරුම් ගන්න දේවාට තාම වයසක් නෑ.

ඒත් දේවාටයි මටයි අපි දෙන්නට අපි දෙන්නාම විතරයි කියලා දැන් දේවාට තේරෙනවා. උප්පැන්නේ අම්මාගේ නම විදියට දේවානී පූර්ණිකා වූණු මගේ නම ඔහු ලිව්ව නිසාත්, දේවාට ඔහුගේ වාසගම, අපේ නම් දීලා උප්පැන්නයක් හදලා එවලා ඔහු මාව පුදුමයට පත් කරපු මොහොතේ පටන් ඇය දේවානී සරීතා අර්ථනායක විදියට නම් වුණා.

සරීත්ගෙයි දේවාගේ අම්මගෙයි දරුවා මට ඉල්ලගන්න අවසර දීලා ඔහු වෙනත් රටක වෙනත් පවුලක සතුටින් හිනැහෙනවා කියලා දේවා දැනගත්ත දවසට එදාට දේවාටත් රිදේවී. මටත් වඩා ඇය හඩාවී. අපි දෙන්නාම ආදරේ බව දැන දැනම අපිව අත හැරියේ එකම පිරිමියෙක්. ඒත් ඒ පිරිමියාට තවත් ආදරේ කරන්න මිසක් ඔහුට වෛර කරන්න මටවත් දේවාටවත් කවදාවත් පුළුවන් වෙන එකක් නෑ.

“ අම්මී.. “

මලක් වගේ අහිංසක පුංචි දේවා උත්තරයක් බලාපොරොත්තුවෙන් කදුළු වාන් දමන මගේ ඇස් දිහාවේම දුකින් බලාගෙන.

“ ම්ම්ම්. “

“ අම්මි අඩන්න එපා. අපි ගෙදර බිත්තිවල තියෙන එයාගේ ෆොටෝ සේරම විසික් කරමු.. මං ආයේ එයාව අපේ චිත්‍ර වල අදින්නේත් නෑ.. අනේ අම්මි අඩන්නේ නෑ නේද? “

දේවා වචන අහුල අහුල ගලපන දිහාවේ මං මොහොතක් කදුළු අතරින් බලාගෙන උන්නා.

“ ඔයාගේ මූණේ පිහිටපු එයාගේ රූපෙයි මගේ හිතේ ඇදෙන එයාගේ මතකෙයි එක්ක කවදාවත් අපිට එයාව අමතක කරන්න බෑ පුතේ “

කියලා මගේ හිත කිව්වත් මං ඒවා වචන වලට පෙරළුවේ නෑ. දුරකතනයේ සංගීත තනූ අහන එක නතර කරලා දේවායී මායි ගෙදරින් එළියට බැස්සා. පුංචී දේවාවත් අරගෙන මං මේ ගෙදරට ආවේ මගේ මුළු ලෝකෙම අත හැරලා. දේවාව මගේ මුළු ලෝකෙම කරගන්නත්, හිතේ අස්සක් මුල්ලක් නෑර තියෙන ආදරේ එකතු කරලා දේවාට ආදරේ කරන්නත් මට ඕනි වුණා.පුංචී පුංචී කතන්දර ගොතලා දේවාව හිනස්සන්න මට ඕනි වුණා. පහළ මිටියාවත් දිගේ එකිනෙකා පස්සේ දුව දුව හිනැහෙන්න, හරිත නිම්නයේ සුන්දරත්වය ඇහි පිය නොහෙලා බලාගෙන ඉන්න, මල් වලට පාට දෙන පාට පාට සමනල්ලු ගැන, අම්මා එක්ක සින්දු කියන කුරුළු පැටව් ගැන, ලස්සන සාරී වියන සාරී ගප්පී ගැන විතරක් නෙවේ සුරංගනාවීයෝ පොළවට තෑගි දෙන ලස්සන සුවද හමන මල් ගැනත් දේවාට කියා දෙන්න, දේවා සති කිහිපයක මල් කැකුළක් වුණ දවස් වල ඉදන්ම මං හීන දැක්කා.

සරිත් දන්නේ නැතිවට ඒ හැම හීනෙක සරිත්ව කුමාරයෙක් විදියට මවාගෙන අපි කතන්දර කියෙව්වා. බිත්තී පුරා ඇදෙන හැම පැස්ටල් හීනෙකම සරිත් ලස්සනට හිනා වෙලා බලාගෙන ඉන්නවා, දේවාගෙයි මගෙයි අත් වලින් අල්ලගෙන සරිත් බිත්ති දිගේ එහේ මෙහේ යනවා, චිත්‍ර ඇදලා අපි සතුටු වුණා.

ඒ තමා අපේ ආදරේ. අපි දන්න ආදරේ. දවසක මගේ දේවා ලෝකෙටම කියාදෙන්න යන ආදරේ. හෙවණැල්ල වෙලා ළගින් නොහිටියත්, පෙරළා ආදරේ නොදුන්නත්, හුස්මක් ගානේ ලියවුණ ආදරේ නෙලා නොගෙන ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න අපි දැන් දන්නවා. ඒ ආදරේ කදුළකට, සුසුමකට හිර නොකර ලෝකේ පුරා වපුරන්නත්, ලෝකය ලස්සන කරන්න පරිත්‍යාග කරන්නත් දේවා මට දැන් උගන්වනවා.


අරුණි කළුපහන



Tuesday, February 18, 2020

දයාබර විහග

දයාබර විහග,

ඉතින් මා ඔහු හා විවාහ වුනෙමි. ඒ ඔහුමය. වරෙක මා හැර දමා වෙන කෙල්ලකට පෙම් කලේ ද ඔහුමය. ඔහු එනතුරු මා මග බලා හිදිද්දි, ඇයත් සමග එක්ව නෙක හිරිහැර කරමින් මැරෙන්නට තරම් මට කලෙක ජිවිතය අපායක් කලේද ඒ ඔහුමය. අපහාස වින්දේත් පහර කෑවේත් මමමය. ඔබ මට හමුවුනේ එවන් කාලෙක ය. තුවාල යළි යළිත් පෑරි රිදුම් දෙද්දි ඔබ ඒ තුවාල සුවපත් කළේය. ජීවිතය ගැන, බලාපොරොත්තු ගැන කියාදුන්නේ මා සවිමත් කලේ ඔබය. ඔබ මගේ ජීවිතයට ආවේ ඇයිද කියාවත් එදා සීතල නගරයකදී ඔබ මට හමුවුනේ ඇයිද කියාවත් මා නොඅසමි. නමුදු ඔබට ආදරය කිරිම මා කළ වැරැද්දක් බව මා පිළිගනිමි. සමාවෙන්න. නමුත් ඔබද මට ආදරය කල වග මා දනිමි. එය ඔබට අනුව ආදරය නොවන්නට ඇත. කෙල්ලකට කළ විහිළුවක් වන්නටත් ඇත.

නමුත් විහග, මා ඔබට ආදරය කළෙමි. හිත හදා ගන්නට අසීරු වන්නට තරම් මාස ගණනක් තිස්සේ රෑ නින්දක් නැතිව හඩා වැටෙන්නට තරම් මා ඔබට ආදරය කළෙමි. මෝඩියක මෙන් මා විහගට ආදරය කරන වග අම්මා ඇතුලු නිවැසියන් ඉදිරිපිට කියන්නට තරම් මා ඔබට ආදරය කළෙමි. ඉතින් සියල්ල වෙනස් විය. ඔහු නැවත ආවේය. අයිතිවාසිකම් කියා පෑවේය. මගේ කේන්දරය ඔහුට වාසනාව ගෙනෙන වග කියු මිනිසුන් නිසා එය තින්දු තිරණ මතින් සියල්ල සම්මත විය. ඔහුගේ ඇය ඔහුට සෙල්ලමක්, කාලය කා දැමීමක් වු වග ඔහු කිවේය. ඇය කෙරෙහි ප්‍රේමයක් නොතිබු වගත් ඇයට බලාපොරොත්තු නොදුන් වගත් ඔහු කිවේය. එදින මා මොහොතකට ඔහු තුළින් ඔබ දුටුවෙමි. මිනිසුන් වෙනස් වන වග ඔබත් ඔහුත් මට උපහරණ ඇතිව අපුරුවට පසක් කලෝය.

ඔබ මා පරිත්‍යාග කළ බව සමහරු කිවෝය. ඔබේ ආදරය මා හදුනන බවත් අවසන් මොහොතේ හෝ ඒ ආදරය මා විශ්වාස කරන්නේ නම් සියල්ල හැර දමා මා ඔබ වෙත දිව එතැයි ඔබ විශ්වාස කළ බවත් ඔබේම මිතුරෝ කිය. නමුත් මා ඒ කිසිවෙක් විශ්වාස නොකරමි. ඔබ යක්ෂයෙකුට මා පරිත්‍යාග කරන්නට තරම් අනුවණ මිනිසෙකු වී යැයි ද මා විශ්වාස නොකරමි.

කෙසේ නමුත් සියල්ල සිදු වී අවසන් ය. කිසිවක් හෝ කිසිවෙක් තවදුරටත් වෙනස් වන්නේද නැත. කුමනාකාරයේ මිනිසෙකු වුවත් මා දැන් ඔහුට, ඔහුගේ කුලයට සහ ඒ පරපුරට අයත් ගැහැණියක්මි

විහග, ඔබ ගැන ලියන්නට යැයි ඔබ කියු කතාවක ඔබ විහග ලෙස නම් කලේ මාය. ඒ කතාවේ ඇය වසර කිහිපයකින් නැවත ආවද කෙදිනකවත් මා හැරි නොඑන වග ඔබට ලියා තබමි. ඉතින් මා ඔබ නාදුනන අයෙක්මි. විවාහයක් පවතින්නටත් පුළුවන. කටු ගෑවෙන්නටත් පුළුවන. නමුත් අනාගතය කුමක් වුවද මා නැවත නොහැරෙමි. අසීරුවෙන් හෝ සියල්ල ඉවසමි. නමුත් ඔබට ලියු තරම් ආදරණිය කවි ඔහු නමින් උපදවන්නට මට නොහැකි වනු ඇත. ඔබට තරම් ප්‍රේමයක් ඔහුට පුදන්නට මට නොහැකි වනු ඇත. නමුදු කාලය සියල්ලටම පිළිතුරු මට ගෙනවිත් දෙනු ඇත. ඉතින් ඒ කවිකම් දිනක ඔහු වෙනුවෙන් උපදිනු ඇතැයි මා විශ්වාස කරමි. ඔබ ගැන මතකය මකා දමා ඒ මතින් අලුත් ලෝකයක් තනන්නට මම වෙර දරමි. තවදුරටත් හුස්ම අහුලමි.

විහග, කලක් මා ඔබ එතැයි මග බලා හිටියෙමි. දැන් ඇස් කොන් දැවෙන වේදනාවක් පමණක් මා අභියස ඉතිරිව ඇත. දිනක එය ද මැකී යනු ඇත. නමුත් ඔබ එදා මා මෝඩියක නොකලා නම් මා ඔබට පින් දෙමි. රැයක් ගානේ ඇහැරි හඩා වැටුණ මට හඩන්නට දී,ඇමතුම් නොදී,කදුළු පිස නොදමා, අහක බලා හිටියා නම් මා ඔබට කල්ප කාලයක් පුරා දස දහස් වර පින් දෙමි. මුරණ්ඩු මා ආණ්ඩු කරන්නට සංවාද කවුළුවෙන් එබී තරවටු කරන්නට ඔබට මහන්සි නොවී ඉන්නට තිබිණි. බීමතින් ඔබ කියු ඒ හැම පෙම් කතාවක්ම, ආදරණිය හුස්මක්ම ඔබ තුළින් ගිලිහෙන්නට නොදී තරයේ අල්වා ගන්නට ඔබට සිහිකැදවා ගන්නට තිබිණි. තවද ලෙඩ දුක් හැදී මා වේදනා විදිද්දි සොයා නොබලා හිදින්නට ඔබට උත්සාහ කරන්නට තිබිණි. නමුත් ඔබ එසේ ආදරය දුන්නේ ඇයි දැයි මා යළි යළිත් මා තුළ වු ප්‍රශ්නාර්ථ මතු කර ගනිමි. ප්‍රශ්නාර්ථයක් පමණක් රැගෙන නික්මෙන්නට මට පුළුවන. ඇස් වලින් කදුළු වට්ටන්නට තරම් ආදරයක් මට දැනෙන්නට හැරිම ගැන නම් ඔබට සාප කරන්නට මට කෙදිනකවත් නොහැකි වනු ඇත.

සියල්ල අවසන අහස පිරෙන්නට ආදරය වපුරා බලාපොරොත්තු දුන්නේ නැතැයි කියා පිහි තුඩකින් තුවාල කර මා අතැර යාම ගැන පමණක් මා ඔබට ස්තුති කරමි. ඔබට ආදරය කළ වරදට මා ලගා කරගත් හැම කටුක වේදනාවක් ගැනම සතුටු වෙමි. සියල්ල දරා ගත හැකි ශක්තිමත් ගැහැණියක් බවට මා පත් කළේ ඔබය. කදුළු දෑස් තුළම මිදෙන්නට හැර තව දුරටත් ලෝකයේ බැදීම් තදින් අල්වා නොගන්නට මට උගැන්නුවේ ඔබේ නික්මීමය. ඔබය. ඉතින් මා තුති පුදමි. එසේම ඔබට ලියු හැම කවියක් ගැනම සමාව අයදිමි. ඔබ ගැන හෙවු වද වු හැම තත්පරයක් ගැනම සමාව අයදිමි. ඔබ එවු හැම කෙටි පණිවිඩයකටම පිළිතුරු ලියා මා පමණක් වරදකාරිනියක වීම ගැන කිසිත් නොකියමි. විහග ඒ මතකයට ආදරයට ඒ සිතුවිල්ලට ස්තුතියි. අනාගතයේ දිනක ඔබ පොතක පිටු අතරින් හමු වුනොතින් මා වගකිම භාර නොගනිමි. නමුත් ඔබව හෙළිදරව් නොකර රහසේම රකින්නට පමණක් පොරොන්දු වෙමි.

ඉතින් ජිවිතය කියා දුන් ඔබ කදු අතර ඉපිද හිරු එළියෙන් මියැදුණු පිනි බිදුවක් ලෙස පමණක් මතුවටද මා විශ්වාස කරමි. ආයෙත් ආයෙත් ඔබේ ජිවිත කතාවේ මා කිසිදු නමකින් ඔබ අසල නොලියවෙන්නට වග බලාගන්නා ලෙස පමණක් දෙවියන්ගෙන් අයදිමි. ඉතින් සමුගනිමි. සමුදෙමි.

- අමාවී -



#stories

- අරුණි කළුපහන