Wednesday, June 3, 2015

හදවත ඇහිලූ මිනිසා වෙත,


මම නුඹට ආදරය කරමි. නුඹ එය දන්නවා හෝ නොදන්නවා විය හැකියි.

මම නුඹ පිළිබද සිහින දකිමි. නුඹ එයද දන්නවා හෝ නොදන්නවා විය හැකියි. 

මම නුඹ හෙලා දකිමි. බැන වදිමි. නමුත් ඒ ද නුඹට ආදරය කරන නිසාවෙන් බව නුඹ නොදන්නවා හෝ දන්නවා විය හැකියි.

මේ සියල්ල නුඹ දැනගත් දිනක නුඹ මට බැන වදින බවත් මා හැර යන බවත් පමණක් මා දනිමි. ඉතින් එය එසේ නොවිය යුතු නිසාවෙන් මා සියල්ල බොහෝ ප්‍රවේසමෙන් වසන් කර සිටිමි. බොහෝ විට ජිවිත කාලය පුරාවටම.. 

නුඹ අයිති කර ගන්නට මට ආශාවක් නැත. නුඹ හා රැදී ලෝකයාට නුඹ මගේ යැයි කියන්න ද මට ආශාවක් නැත. 

මා ආදරය කරන්නේ නුඹගේ සිතුවිලි වලට කිසිවකුත් දන්නේ ද නැත. සංසාරය සිසාරා සැරි සරනා කල අහම්බෙන් නුඹ මා හමු විනි. අනතුරුව නුඹ අගුලු ලා තිබු මා හදවත හොරකම් කර විවර කළේය. 

ඉතින්, එවකට පටන් මා නුඹට පෙම් කරන්නට පටන් ගතිමි. බොහෝ අවස්ථාවල ප්‍රේමයට ඉඩ නොදෙන්නට යැයි කියා බුද්ධිය මට තරවටු කරන්නට කරන්නට මම බුද්ධිය අතහැර දැමුවෙමි. මා එසේ කලේ ඇයි දැයි විටක මට ද ගැටලුවකි. 

මා නුඹට මගේ බොලද ප්‍රේමය යැයි නොකියමි. නුඹ මට බෝසත් ප්‍රේමයකි. 

නුඹ හා එක්ව රන් හුයකින් දෑගිලි බදින්නට නොව නුඹ දෙස ඈතින් බලා හිද සදාකාලයටම පෙම් කරන්නට මා කැමැත්තෙමි. 

නුඹගේ භොතික ලෝකය පිළිබද කැමැත්තක් මා තුල නොමැති බව නම් නුඹ දන්නවා ඇත. භෞතික දෑ නිසාවෙන් පෙම් කරන්නට මා කිසිදාක  රිසි නොවීමි. 

මා සොයා ගියේ අධ්‍යාත්මික ප්‍රේමයකි. ඉතින් මා එය සොයා ගත්තෙමි. ඒ නුඹ ය. නුඹවත් නොදන්නා මගේ ප්‍රේමය නුඹ බව නුඹට කෙසේ කියන්න ද ?

ඇට මිදුළු ලේ නහර සිසාරා මම නුඹට ආදරය කරමි. එය බොළද බව කවුරුන් හෝ කියාවි. එයට මට කමක් නැත. නුඹ පිළිබද සිතනා තත්පරයක් පාසා මට ගෙන එන්නේ විසල් සතුටක් නම් ඉතින් එය බොළද ප්‍රේමයක් වුව ද එසේ නොවුව ද මා ඒ පිළිබද සිතන්නේ කුමකට ද ? . 


දිනක් ලෝකයාට විකාරයක් වූ මගේ සිත දැක අයෙක් මට මෙසේ කිය. 

" උඹ ඔය අන්ධකාරේ අතපත ගාගෙන යන්න හදන්නේ අවදානම් ගමනක්.. දැන්වත් ඔය විකාරේ උඹ නතර කරොත් හොදයි.. " 

" කමක් නැහැ කොච්චර අවදානම් ගමනක් වුනත් ඒක මට සතුටක්.. වෙන දෙයක් වුනාවේ.. අනාගත සතුටක් වෙනුවෙන් වර්තමානේ දුකින් ඉන්න මං කැමති නැහැ.. " 

" එහෙමයි කියලා උඹට මැරීගෙන ආදරේ කරන්න හිටියේ ආදරේ කියලා කියන්නේ මොකක් ද කියලා නොදන්නා මෝඩයෙක් විතර ද ?? ඕක ඵල රහිත ප්‍රේමයක්.. " 

" ඵල රහිත වුනාට මට කමක් නැහැ.. මට ඕනේ ආදරේ කරන්න විතරයි.. අයිති කරගන්න නෙවේ.. ඒ කෙනාට ඕනේ වෙලාවට එයා ලගින් ඉන්න..  එයත් එක්ක සතුටු හිතෙන වෙලාවට සතුටින් ඉන්න.. දුකින් ඉන්න වෙලාවට එයාව සතුටින් තියන්න.. හොදම යාලුවෙක් වෙන්න, ලගම නෑයෙක් වෙන්න.. ජිවිතේ බෙදා ගන්න.. එයාට දවසක යන්න ඕනි නම් යාවි.. වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් කරාවි. එදාට මම මගේ ආදරේ පැත්තකින් තියනවා.. හැබැයි යාළුකම එයා ලගින් තියනවා එයාට ඕනි නම්.. නැත්තම් ඈතට වෙලා බලන් ඉන්නවා..  හැබැයි කවදාහරි දවසක එයා තනි වුනොත් එයාගේ ජිවිතේ හිටපු අය යන්න ගියොත් මං ආයේ ආදරේ කරනවා.. එයාට එයාගේ හීන හොයා ගන්න උදව් කරනවා.. " 

" උඹට පිස්සු !!! උඹ මෝඩයි !! මෝඩයාගේ ආදරය මරු කැදවයි කියන්නේ ඕකට තමා.. ඇත්ත තේරෙන දවසක උඹ හොදටෝම අඩාවී.. මැරී මැරී ජිවත් වේවි.. ජිවිතේ තනි වේවි.. උඹ විතරක් දුක් වේවි.. එයාලා සතුටින් එයාලගේ ගමන යාවි.. එහෙම වෙනවට කැමති ද ?? " 

" තියේවිද කියලා නොදන්නා අනාගතේ දවසක් වෙනුවෙන් වර්තමානේ සතුට කැප කරන්න කියලා ද මට කියන්නේ.. කවදාම හරි දවසක එයා මගේ හිත කියෙව්වොත් ?? " 

" එහෙම වෙන්නේ නැහැ.. ඉර හද වගේ විශ්වාසයි.. නුඹ නොදන්නවාට මුළු ලෝකෙම ඒක දන්නවා.. ඒ හදවතක් තියා හදවතක් කියලා එකක් තියෙනවා ද කියලාවත් දන්නා මිනිහෙක් නෙවේ.. සල්ලාල මිනිහෙක්ට ආදරේ කරන්න උඹට පිස්සු ද ?? " 

එය එසේ ද ?? නුඹ සල්ලාලයෙක් ද ?  ඒත් දිනක නුඹට හැකි වේද මගේ හදවත කියවූ මිනිසා වන්නට ? 

නමුත් මෙය ලියනා මොහොතේ දීද මගේ හදවතට ඉහලින් මගේ සිතුවිලි මට බැන වදී. 

" එය එසේ වන්නේ කොහොමද ?? ඔහු නුඹේ අකුරක්වත් නොකියවන මිනිසෙකු වූ කල..  ඔහු කවදාවත් මෙය නොදකින බව ස්ථිරයි.. " 

ඉතින් සිතුවිලි වලට මම මෙසේ කියමි. 

" ඔහු මෙය දකිනවාට මමත් සතුටු නොවෙමි. ඔහු නොකියවන බව දන්නා නිසාම මම මෙය නිදහසේ අකුරු කරමි. දිනක මෙය ඇස ගැටුනත් ඔහු මේ ලියන්නේ ඔහු පිළිබද කියා නොසිතවී.. මෙය හදුනාගත් දවසක ඔහුට මා හොයාගන්නටවත් නොහැකි වේවි. ඉතින් කුමට ද බිය වෙන්නේ ?? " 

සිතුවිලි සුසුමක් හෙලා නිහඩව පසකට වෙනු මට දැනේ. 

ඉතින් මා නුඹගෙන් ආයෙම අසමි.. හැකි ද මගේ හදවත කියවූ මිනිසා වන්නට.. ??? නමුත් ස්ථිරයි.. නුඹට නොහැකි වේවි.. මගේ හදවත කියවන්නට.. 

කමක් නැත.. නුඹ මගේ හදවත නොකියවුව ද නුඹ මගේ හදවතට සමීපතම මිනිසාය යන්න කිසිකලකත් නොවෙනස් නිසාවෙනි. 

කිසි කලකත් නොවෙන්නක් වුව ද අහඹු ලෙසින් නුඹ මගේ හදවත කියවන්නට සුදානම් වුවහොත් මම නුඹට දෙපාරක් සිතන්න කියා ද අනතුරු අගවමි. ඒ නුඹ කිසිවිටකත් පසු තැවෙනු හෝ කනගාටුවෙන් සිටිනු දකින්නට මා අකමැති නිසාවෙනි. 

දිනක නුඹ සිහින දකිනා අහිංසක සම්ප්‍රදායික ගැහැණිය වන්නට මට නොහැකි වේවි. ඒ 

: වෙඩි තබා මරා දැමුවද මා නොනවතින මුරණ්ඩු ලියන්නියක් නිසාවෙන් නුඹට කේන්ති යාවි. 

: දවසක්වත් නුඹේ එක ඇමතුමක්වත් එක වදනක්වත් නොඅසා සිටින්නටත් නොහැකි නිසාවෙන් මා රළු ව්‍යාඝ්‍ර ධේනුවක වී නුඹට ජීවිතය එපා වෙන තරමටම වද දේවි. 

: හරිත වනාන්තර අස්සේ රිංගා සොබාදහමේ තුරුලේ සංචාරය කරන්නට කප්පරක් හීන දකින්නියක් නිසාවෙන් නුඹ සතා සීපාවා සොබාදහමට අකැමති අයෙකු නම් නුඹ නැතිවාට කමක් නැත. 

: නුඹට ඕනෑවටත් වඩා මුදල් අවැසි නම් මා අමතක කරන්න.. කටු මැටි ගෙපැලක සුදු හාලේ බතක් සම්බෝලයක් සමගින් උයාගෙන කන්නට ගොම ගෑ සීතල බිමක සැතපෙන්නට බැරි නම්, යාචකයෙකුගේ නිවසකින් වතුර උගුරක් බොන්නට බැරි නම් නුඹ සිතිය යුතුමයි නැවත නැවත.. මා සමගින් එනවා නම් නුඹ පොළවක් මත දෙපයින් සිට ගත යුතු මයි.. ඒ මුදල් පසුපස හඹා යන මිනිසුන්ට මා වෛර කරන බැවිනි. 

: නුඹේ අතීතය කවරක් වුව ද මට කමක් නැත. නමුත් මා නුඹගේ ජිවිතයට ඇතුළු වූ පසුව නුඹට වෙනත් ගැහැණියක දෙස බැලීම පවා මරු කැදවිය හැකි වරදක් විය හැකිය. ජිවිතයට ආදරේ නම් වෙනස් විය නොහැකි නම් තීරණය නුඹ සතුය. . 

: මට නියමයක් තිබේ. මගේ හදවත බාර දෙන තැනත්තා සිතුවම් ශිල්පියෙකු හෝ ජායාරූප ශිල්පියෙකු හෝ විය යුතුමයි. දැන් ඉතින් නුඹ මෙය කියවනවා නම් හිනා නොවන්න.. මා එසේ කියන්නේ හේතු සහිතවයි. මන්ද ඔවුන් සියුම් දෑසක් සහ සංවේදී සොදුරු හදවත් සහිත වුවන් ය. ජිවිතේ සෑම සුන්දර මතකයක්ම අමරණිය කල හැක්කේ චිත්‍ර ශිල්පියෙකුට හෝ ජායාරූප ශිල්පියෙකුට පමණි. ඉතින් නුඹට ඒ කිසිවක්ම නොහැකි නම් නිහඩ වන්න.. 

: මා ලියනා අකුරු සියල්ලටම කලින් නුඹ රසවිදිනවා දකින්නට මා කැමැත්තෙමි. එහි අඩු පාඩු නුඹ දකිනවාට මා කැමැත්තෙමි. ඉතින් යමක් රසවිදීම පිළිබද හාල් ඇටයක දැනුමක් නුඹට නැති නම් නුඹ ඈත් වන්න.. 

: නුඹ සංගීතයට ආදරය කල යුතුමැයි. ඒ ඇයි දැයි නොඅසන්න. නමුත් මගේ ජිවිතයට හුස්ම දිය හැක්කේ සංගීතයට සංවේදී අයෙකුට බව මා විශ්වාස කරමි. 

දහසක් කොන්දේසි මා කියන්නේ නැත. දෙඅතේ ඇගිලි ගණන ඉක්මවා නොයන තරම් ඉල්ලීම් පමණක් මා සතුය. 

නුඹ මගේ හදවත යම් දිනක කියවන්නට හදන්නේ නම් මේ සියල්ල පිළිබද නුඹ සිතිය යුතුය. 

ඒත් ඉතින් නුඹට මගේ හදවත කියවන්නට තරම් පිස්සුවක් නොමැති බව දන්නා හෙයින් මා නිදහසේ මෙසේ අකුරු කරමි. 

සමහර විටක හෙට අනිද්දා දවසක අපි වෙන් වේවි. ආයෙම වෙන සංසාරේ දවසක හමු වේවි.  හමු නොවී තියෙන්නට විදියක් නැතැයි මට සිතේ.. පෙර සංසාරේකත් හමු වෙලා එකතු වෙන්නට බැරි වුනා නිසා වෙන්න ඇති මේ සංසාරේත් අපි මෙලෙස හමුවෙන්නට ඇත්තේ.. හැබැයි මේ සංසාරෙන් සමු ගන්නට මත්තෙන් මට හැකි වේවි ද නුඹෙන් ඒක ඉල්ලීමක් කරන්නට.. 

" මේ සංසාරේත් බැරි උනාට එළඹෙන අන්තය වගේ දුර සංසාර ගමනෙන් ඒක සංසාරයක්වත් මට දෙන්න පුළුවන් වේවි ද නුඹගේ වෙන්නට ? ඒ සංසාරේදිවත් නිවන් දකින තුරු නුඹ හා ඇවිද යන්නට හැකි ද මට අවසරයක් දෙන්න.. ?? " 


( මගේ අකුරු තුල ජිවත් වන චරිත සැබෑ ලෝකයේ ජිවත් වෙනවා ද කියා මමවත් නොදනිමි. ඉතින් ඔවුන් සොයා මා විමසීම ඵල රහිත බව ඔබ දත යුතුය. මේ හැම අකුරක්ම ඔබේ කරගෙන එහි ජිවත් වුවාට මට කමක් නැත. මා ඔබ නොහදුනන නිසාවෙන්...  නමුත් මා ද නොදන්නා චරිත වෙනුවෙන් මා විමසා මා වෙහෙසට පත් නොකරන්නට හැකි නම් නම් අගෙයි.. ) 

Wednesday, April 8, 2015

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි


වැස්ස පෙම්වතුන්ට  ආශීර්වාදයක්  කියලා  කවුදෝ  කියලා තිබුණා. ඒ නිසාම  වෙන්න ඇති පෙම්වත් හිත් මේ තරම් වැස්සට ආදරේ කරන්නේ..

ඒ කොහොම වුනත් හිරිකඩ හිතල සුළගයි  මන්දාරම්  අදුරයි එක්ක ලහි ලහියේ වෙල් යාය දිගේ  ඈතින් එන වැහි කෝඩයට ආදරේ නොකරන්නේ කවුද ??

මේ දවස්වල හවසට කෝච්චියේ ගෙදර යනකොට මරදානට මහ වැස්ස වුනාට  මුතුරාජවෙල දිහාවේ පහු කරද්දී  මුතුරාජවෙලට ලං වෙන වැසි අදුර අපුරුවට අහස පුරා සිත්තම් වෙනවා. කෝච්චිය නොයා මුතුරාජවෙල ගාවින් නවත්තගෙන ඉන්නවා නම් කියලා හිතෙන්න තරම් ඒ දසුන හරිම අපුර්වයි.

කෝච්චියේ ජනේලට කම්මුලත් හේත්තු කරගෙන ඒ දිහාවේ බලන් එද්දී මට මතක් වුනේ ඔහුව.

හිමි නොවෙන බව දැන දැනත් මගේ හිත මාවත්  ඇදගෙන ගිහින් නතර කරන්නේ ඔහු ගාව. ඒ ලෙන්ගතුකමට  ආදරය කියලා අරුත් දෙන්න මට බැහැ. හැබැයි එහෙම නොවෙයි කියන්නත් මට බැහැ. මං දන්නා එකම දේ ඔහු හැබෑ නොවෙන හීනයක් කියන එක. එහෙමයි කියලා ඔහුට තියෙන ලෙන්ගතු හිත අමතක කරන්නත් මට බැහැ,

හැමදාම හමුවන හොදටෝම ආඩම්බර හැබැයි ටිකක් සැර චරිතයක්. මටත් නොදැනීම ඔහු ලග හිත නතර වෙන්න තරම් අපුරු පෞර්ශයක් ඔහු ලග තිබුණා. ඒ සේරටම වැඩිය කතා කරන ඇස් දෙකක්..

කඩවසම් පෙනුමයි කතා කරන ඇස් ලගයි නතර නොවෙන ගැහැණු හිතක් තියේවි ද ??

නින්ද අහිමි රාත්‍රීන්ට දෙසවන් ලග තනි රකින්නේ කසුන් කල්හාරගේ ගීත..

කසුන්ගේ ගැඹුරු කටහඩින් භාවාත්මක තනුවක් එක්ක ගැයෙන සැබෑ නොවෙනා හීන හරි මිහිරියි ගීතය අහන වාරයක් පාසා නෙත් කොනට කදුලක් උනන්නේ ඔහු මට හිමි නොවෙන බව දැනෙන නිසා ද නැත්තම් කසුන් හරියටම මගේ හැගුම් ගයනා නිසා ද කියන ඒක මං තාමත් හිතනවා.

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

උදේට දුම්රියේ දී නෙත ගැටෙනා ඔහු හමුවුණු දවස් මතක තියා ගන්න නිල් පෑනෙන් දිනේ ලකුණු කරගත්තු දුම්රිය ටිකට් ගොඩක් එකතු කරන්න තරම් ඒ හැගීම බොලද බව මං දන්නවා. ඔහු නාව දවස් වලට දුම්රිය ටිකට් ඔහේ විසික් වෙනවා. 

ඒ සිතුවිලි බොලද වුනත් ඒ සිතුවිලි මාව ජිවත් කරවන හැටි මට දැනෙනවා. නමුත් ඔහු අන්සතු වස්තුවක්. අනිත් අයගේ කතා බහින් මට තේරෙන තරුණිය ඔහුගේ ජිවිතයේ වර්තමානය ද අතීතය ද කියන්න මං දන්නේ නැහැ. ඒ ගැන සොයලා හිත රිද්දගන්නේ මොට ද ?? 

රාත්‍රියේ සිහිනෙන් ලග උන්නාට ආලවන්ත කතා ගෙතුවට උදේට ඇස ලග ඉන්න හීනේ එයිට වෙනස්.. පුංචිම පුංචි වෙලාවක් ලගින් ඉදිවී. එත් හැමදාම නෙවේ. ඇස් වලින් නම් ඕනේ තරම් දොඩමලු වේවි. බහින්න ලං වුනාම වචනයක් දෙකක් කියාවි. හැබැයි ඒ වචනේ දෙකම දවස පුරාම මේ සිත සතුටින් තියෙන බව ඔහුත් නොදන්නවා ඇති.

හිමි  නොවෙන බව දැන දැනත් අහස උසට පෙරුම් පුරන්න.. වචනෙකින් දෙකකින් සතුටු වෙන්න..  ප්‍රේමයේ විල් තෙර අභියස යෞවන සිතක නැගෙන හැගුමන් හරි පුදුමයි.

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනත් පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි