Monday, January 20, 2020

මිතූගේ දින සටහන් : ජනවාරියේ දවසක්!!


කලබලකාරී වෙහෙසකර දවස් වලට කොටුව දුම්රියපොළට දුවගෙන දුවගෙන ගිහින් ඊළගට තියෙන බදුලු කෝච්චියේ නැගලා පැය ගානක් තිස්සේ හිත නිවන ඒ පරිසරය දිගේ ඔහේ යන්න ඕනි කියලා හිතෙන වාර අනතන්තයි අප්‍රමාණයි. ඒත් එහෙම යන්න හිතෙන හැම වෙලාවකම ප්‍රශ්න දෙකක් මගේ වටේට කැරකෙනවා. යන ගමනේ අනන්තය කොතැනද එකක්. අනික මට කොහෙන්ද ඇවිදින්න තරම් නිවාඩුවක්. ඒ ප්‍රශ්න එක්ක මං හිරවෙනවා. හිතේ තියෙන නොසන්සුන් හැගීම් " මොකක්ද මේ කෘතීම ජිවිතේ.. " කියලා අහනකොට ඒ ගැන තව දුරටත් හිතන්න ගියොත් මැරෙන්න ඕනා වගේ හැගීමක් හිතට එනවා කියලා දන්නා නිසාම ඉක්මනට යාළුවට මැසේජ් එකක් දානවා. " මට හිත සන්සුන් කරගන්න පුළුවන් music ලින්ක් ටිකක් එවපන්. " යාළුවා හැරෙන තැපෑලෙන් " ගුගල් එකේ හොයනවකෝ ඕයි. උඹ ඉස්සරත් ඔහොමයි. " කියලා පිළිතුරු එවනවා. ඒත් මේ සා කාලයකට අන්තර්ජාලයේ මගේ ප්‍රශ්න වලට පිළිතුරු නොතිබුණා කියලා දන්නා නිසාම ආයෙත් ඔහුටම වද දෙනවා. " listen to 432hz, 639hz " ඔහු ආයෙත් එවනවා.

ඉස්සර " ඇයි බං ඔච්චර කියවන්නේ " කියලා අහනකම්ම එක හුස්මට දොඩමළු වෙන දැරිවියට මොකද වුණේ බලන්න එක්කෙනා දෙන්නා ඇමතුම් දෙනවා. ඒත් පැමිණෙන දුරකථන ඇමතුම් දිහාවේ ඔහේ බලාගෙන ඉන්නවා මිසක ඒවාට පිළිතුරු දෙන්න තරම් හැගීමක් නිස්කාංසුවක් හිතේ නැහැ. ඊමේල් කෙටි පණිවිඩ කියෙව්වට උත්තර යවන්න හිතෙන්නෙත් නැහැ. කාලෙකට පස්සේ ජිවිතේ ආසාවෙන් හිටපු විදියේ රස්සාවක නිරත වුණත් රැකියාව ඉවර වෙලා ගෙදරට යනකම්ම දෙසවන ළඟ වාදනය වෙන ගී සිංදු ආයෙත් ආයෙත් මට අහිමි මාව මතක් කරනවා.

බදුලු කෝච්චියේ දොරේ ඉදගෙන ඈත කඳු මිටියාවත් වල පුංචි ගෙවල් දිහාවේ බලාගෙන ඒ ගෙදරක ජිවත් වෙන්න දවල් හීන දැක්ක, ඒ ගෙවල් මැකිලා යනකම්ම ඒ දිහාවේ බලාගෙන කල්පනා කරපු, ගෙදරින් ගෙදරට හීන අලුත් කරපු කෙල්ලෙක්ගේ ආත්මයක් මට මැවෙනවා. වැහි කාලෙක පෞරාණික නටඹුන් බලන්න රජරටට ගිය ගමනක වැහි සීතලේම ඒ නටඹුන් අතර ගහක් යට ඉදගෙන අවුරුදු ගානක් ඈත අතීතයට කාලය හරහා ගිහින් හිතින් රස වින්ද අතීතකාමී කෙල්ලෙක්ගේ මතක මට මැවෙනවා.

අරිසිමලේ, හික්කඩුවේ වගේම වයික්කාලේ මුහුදු වෙරළේ තැනක ඉදගෙන ඉර බහින හැටි ආසාවෙන් බලාගෙන හිටපු, අහසේ අපූර්ව මායාකාරී වර්ණ මැවෙන හැටි, ඉර මුහුදේ ගිලිලා ගියායින් පස්සේ, හෙමි හෙමින් එළිය මවන පුංචි තරු කැට දිලිසි දිලිසි තරු රටා මවන හැටි වෙරළේ වැතිරිලා බලාගෙන හිටපු වගේම වෙරළ පුරා දණගගා සිප්පි කටු අහුලපු, පොත් මේසේ පුරාවටම ඒ සිප්පි අතුරලා හැඩ බලපු කෙල්ලෙක්ගේ හිතක් මට මතක් වෙනවා.

මහා රෑට බලංගොඩ ගෙදරක බැල්කනියේ ඉදගෙන ඈත කන්දෙන් කන්දට මීදුම අතරින් කුරුමිණි අඩු වගේ විදුලි පහන් එළි නිවී නිවී දැල්වෙනවා බලාගෙන සිංදුවක් මුමුණපු, කන්දේ පන්සලට උඩින් පුරපෝය හද මහා විශාලෙට පායලා තිබුණ අපුරුව ඇහිපිය හෙලන්නේ නැතිව විදපු, ගෙදරට ටිකක් එහායින් තියෙන ගැරඩි ඇල්ලේ සද්දේ හෝ ගාගෙන මහා රෑටත් ඇදහැලෙන හැටි ඇස් පියාගෙන අහගෙන හිටපු, පාන්දර එලාර්ම් තියල නැගිටලා කන්දේ පන්සලේ පිරිත් හඩ සමනල රකෂිතයේ කදු මුදුන් වල වැදී දෝංකාර දෙන හැටි ශ්‍රවණය කරපු හිතුවක්කාර කෙල්ලක මට ් මතක් වෙනවා.

මතක එකක් දෙකක් නෙවේ මහා කෝටියක් හිත ඇතුලේ නිවී නිවී පත්තු වෙනවා. ලියාගෙන ලියාගෙන යද්දී මට මාව කොච්චර අහිමි ද කියලා දැනෙද්දී ඇස් වලින් කඳුලක් දෙකක් හෙමිහිට පල්ලම් බහින්න පටන් ගන්නවා. ඒත් කඳුළක දුර ගමන කම්මුලක් හමුවෙන්න කලින් ඉක්මනින් මරලා දාන්න මට පුළුවන් වෙනවා. " මේක තමයි ජිවිතේ.. " හිත ආයෙත් විස්සෝප වෙනවා.

මාසෙකින් විතර කතා කරන්න තියා ඇහැටවත් දකින්න ලැබුනේ නැති අක්කාගෙන් ඇමතුමක් එනවා. " ලබන සතියේ මගේ graduation එක. ඔයා එනවාද? " කවදාද කීයටද අහන්නේ නැතිව " ඔව් " මං එක උත්තරයක් දෙනවා. " ඒත් සතියේ දවසක්. නිවාඩු දාන්න වෙයි. " නිවාඩු නැති බව දැන දැනත් මට උත්තරය වෙනස් කරන්න හිතක් නැහැ. වචනෙකින් කතා කරන්න ඇහැට දකින්න ඉඩක් නොලැබුණත් හිතේ කවදාවත් වෙනස් නොවෙන බැදීම් වෙනුවෙන් හුස්ම ගන්න ඕනි මට ආයෙත් හිතෙනවා.

හැමදාම උදේ හිරු කිරණ පොළව සිප ගනිද්දී විහාරමහාදේවි උද්‍යානය හරහා ඇවිද යන මට නොවැරදීම ලැබෙන ඇමතුමක් තියෙනවා. ඒ අයියා. ලන්ඩනයේ වෙලාවෙන් මහා පාන්දර වැඩ ඇරිලා ගෙදර එන ඔහුටයි මටයි හැමදාම පොදු කතාවක් තියෙනවා. " උඹ වැඩට යනකොට මම වැඩ ඇරිලා ගෙදරට පයින් යන ගමන් " ඔහු කතාව පටන් ගන්නේ එහෙම. මනුස්ස ජිවිත වල ස්භාවය සහ පුද්ගල ජිවිත වල ඝට්ටන ගැන මහා සංකීර්ණ කතන්දර ඔහු කියවනවා. " හැමදේම වෙන්නේ හොදට බං. " මහා සංකීර්ණ කතාවක් අවසානයේ බරැති සුසුමක් අපි ළඟ අතහැරෙනවා.

ඒ සියලු කතන්දර අස්සේ තාත්තායි මායි මුළු ජීවිතේටම ගත්ත එකම සෙල්ෆිය දුරකථනයේ සේයාරූ අතරින් මං එක්ක හිනැහෙනවා. තාත්තාව අන්තිමට දැක්ක දවස කතා කරපු දවස මතක් කරගන්න අපහසුවක් මට දැනෙනවා. සතියකට දෙකකට කලින් වෙන්න ඇති. හිත අනුමානයක් දෙනවා. අපේ කාර්යබහුල වේලාවන් එකිනෙකට වෙනස් වීම නිසා අපිට අපිව මඟ හැරෙනවා. දුරකථන ඇමතුම් වලින් අපිට ජිවිතේ බෙදා ගන්න පුළුවන් කියලා දැනගෙන උන්නත් මම වගේම තාත්තාත් දුරකථන ඇමතුම් වලින් සැප දුක් විචාරන්න අකැමැති නිසාද මන්දා අපිට අපි මඟ හැරෙනවා.

ඉර එළිය වැටෙන්නත් කලින් ගෙදරින් පිටවෙලා ඉර බැහැල ගිහිනුත් හෝරා දෙකක්වත් ගෙවුනට පස්සේ කළුවරේම බඩගිනියි කියාගෙන මම ගෙදරට ගොඩ වෙනකොට කෑම එකත් බෙදාගෙන කවන්න මඟ බලාගෙන ඉන්න අම්මා කවන ගමන් දවසේ තොරතුරු ගැන දොඩමළු වෙනවා. ඒ අතරේ හවස තේ වෙලාවේදී මාව මතක් වෙලා වෙන් කරලා අරන් තියපු කේක් කෑල්ලක් අම්මා මං ගැන වද වෙන තරම මට පසක් කරනවා.

මාසෙකට දෙතුන් වතාවක් මං වෙනුවෙන් අලුත් පොතක් මග බලන් ඉන්නවා. මං වගේම පොත් වලට ඇබ්බැහි වුණ තාත්තා මට කියවන්න පොතක් කාමරයෙන් ගෙනවිත් තියලා තියනවා. පෝල් එම්. එම්. කුපර්ගේ තීන්ත නදිය දැන් මං දිහාවේ දෑස් විහිදගෙන බලාගෙන ඉන්නවා. මං ආයෙත් ජිවිතේ ගැන කල්පනා කරනවා.

මොහොතකින් ඇමතුම් නැතිව අතොරක් නැතිව ලැබෙන කොයි වෙලෙත් හඩ නගන දුරකථනයක් සමගින් ඔහු ඇවිත් යන්න එනවා. දහසකුත් වැඩ මැදින් වෙලාවක් වෙන් කරගත්තු වෙහෙසකර ඔහු සිනහවක් මවනවා. ආයෙත් දුරකතන ඇමතුම්.. ඒ අතරේ ඉස්පාසුවක් ගන්නා ඔහු ව්‍යාපාර ගැටළු වලට විසදුම් අහනවා. නොදන්නා ව්‍යාපාර කළමනාකරණයට වඩා මට ප්‍රශ්නයක් තියෙනවා.

“ අපි සීගිරි යමුද? “

එක දවසක් වැඩ මග හැරුනොත් ප්‍රශ්න කෝටියක්. ඔහු කියනවා. හිටි හැටියේ අඹේවෙල පාරේ අයිනක නතර කළ කාරයක තුළ හිද ඊමේල් අතර කාර්යබහුල වන ඔහුත් නුවරඑළිය තේ වත්තක දුරකථන සංඣා සොය සොයා නහින් අඩන ඔහුත් දකුණු දිග මුහුදු තිරයේ තැනක ව්‍යාපාර ගැටළුවක් නිසා කෝපයෙන් මුසපත් වන ඔහුත් මගේ මනසේ හදිසි රූප පෙළක් මවනවා. එහෙත් කස්සප රජුන්ගෙත් රාවණාගෙත් ඓතිහාසික අඩවි අතරේ පෞරාණික සිහින දකින්න සිත මට බල කරනවා. එහෙත් “ බලමුකෝ “ තනි වචනයක් බලාපොරොත්තු බිදි ඉහිරවනවා.

දුකක්වත් සතුටක්වත් නොදැනුණ උපේක්ෂාවකින් මං නික්මෙනවා. ආයෙත් ජිවිතේ ගැන හිතෙන්න කලින් තීන්ත නදියත් අරගෙන මං නින්ද සොයනවා. සිගීරි බිතු සිතුවම් ඇන්ද සිත්තරුන්, සිගිරීයට කුරුටු ගී පබැදු කවීන්, නෙළුම් මල් දෝත දරා ගත් යුවතියන් විතරක් නෙවේ පිදුරංගල ඉදන් සීගිරියට පෙම් වඩපු කස්සප රජුත් දෙව්ලියනුත් හීන අතරේ සැරිසරනවා. එකවරම කාගේදෝ ආමන්ත්‍රණයකින් මම ඇහැරෙනවා. දුරකථනයේ අවදි වෙන වෙලාව හගවන ප්‍රාතිහාරී ගීතය දෙසවන් ළග නාද වෙනවා. දුරකථනය පසෙකින් තබන මම පොළවට දෙපා තබන විටම මම අවදි වූ බව දැනගත්තු චෙස්ටර්, බලු සුරතලා උමතුවෙන් මෙන් දුවගෙන ඇවිත් ඇද මතට පනිනවා. සිනහාවකින් ඇයව තරයේ වැළගගන්න ගන්න ගමන් මම ඇගේ අතොරක් නැති සිප ගැනීම් වලින් ගැලවෙන්නට උත්සාහ කරනවා.

බැදීම් ආයෙත් ජිවත් වෙන්න බලාපොරොත්තු ගේනවා. මගේ ජිවිතේ බැදීම් මහා ගොඩක් අතරේ බෙදෙනකොට චෙස්ටර් මට මගේ මුළු ලෝකේම ඔයා කියලා දැනෙන්න අරිනවා. ඉතින් මට ආයෙත් හිනාවෙන්න මතක් වෙනවා. ඒත් එතකොටම කාලය හරස් කපනවා. “ පරක්කු වෙනවා.. “ හිත මොරගානවා. මොහොතකින් එන කාර්‍යාල බසයට ප්‍රමාද වෙලා ඇමතුම් දෙන්න අකැමැතිකම නිසාම බැදීම් පසෙකලා මම ආයෙත් එහෙට මෙහෙට දුවනවා. ආයෙත් කොළඹට දුර දුවන බස් එකක මම මගේ ලෝකේ තනියම. බස් රේඩියෝවෙන් විකාර දොඩවන නිවේදිකාවකගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න මම දුරකථනය ගෙන සින්දුවක් ළග දෙසවන් අගුළුලානවා.

ආයෙත් ජිවිතේ වේගයෙන් අතීත මතකයන්ට ඇදිලා යනවා. ඈත පේන කදු අතරේ මහා මෙරක් තරමට හීන පොදි බැන්ද ඒ හීන සේරම කන්දේ ඇලේ පා කරලා කොන්ක්‍රීට් පොළවකට සින්නකරව ජිවිතේ ලිව්ව මෝඩ කෙල්ලෙක්, අදිවේගී මාර්ගයේ වේගයෙන් ඇදෙන බස් රථයේ, කවුළුවෙන් එපිට පාවෙන වළාකුළු අතරේ ඉදන් මට සමච්චලයට සිනා වෙනවා.

“මිතූ... “

ඒ ඇමතුමෙන් හොදම මිතුරාගෙන් කෙටි පණිවිඩයක් වට්ස්ඇප් අතරින් එබෙනවා. සංවාද කවුළුවෙන් හිනැහෙන ගමන් ඔහු ලියන නවකතාවක කොටස් කීපයක් එවනවා.

“ අර චරිතේ මරන්න මං තිරණය කළා බං. කතාවකින් හරි මැරිලා නිදහස් වෙන්න ඕනි. “

ඔහු ආයෙත් කියනවා. දුරකථනයට හිනාවෙමින් උන් මගේ මුහුණ මැලවෙනවා. ඒ චරිත වලට ආසක්ත වුණ පළමු රසවිදින්නිය තර්ක ගේනවා.

“ කෙල්ලට මැරෙන්න බැරිද බං ඒ වෙනුවට.. එයාට ජිවිත කාලෙම මැරි මැරි ඉපදෙන්නද කියන්නේ. ඒ චරිතේ දුක් වින්දා ඇති කියලා හිතෙන්නේ නැද්ද? “

“ බෑ බං.. ඒක එහෙම නොවුණොත් කතාවෙන් වැඩක් නෑ. “

ඔහු එහෙම කියනවා.. චරිත එක්ක ජිවත් වෙලාම ඒ චරිත දැන් මගේ ආත්මයටම රිංගලා. මං ආයෙත් තර්ක කරනවා.

“ අපි නාකි වුණ දවසක කෝපි බිබි ඔය ගැන කතා කරමු. එතකොට අපි පරිණතයිනේ. දැනට ලියලා කපලා කොටලා ගමු. “

ඔහු සැහැල්ලුවෙන් හිනැහෙනවා.

ආයෙත් මම ජිවිතේ ගැන හිතනවා. ඒ අතරේ බැදීම් මහා ගොඩක් හිත අස්සේ වේගයෙන් දොඩමළු වෙනවා. විහාරමහාදේවි උද්‍යානය ළගින් නැවතුමක් දකින බස් රථයෙන් ඉක්මනින් බහින හිත වේගයෙන් ඇදෙන වාහන අතරේ හුස්ම නවත්තන්න තැනක් සොයමින් ආයෙත් කලබල කරන්න පටන් ගන්නවා. හුස්ම හයියෙන් අල්ලාගන්න මම විහාරමහාදේවි උද්‍යානය අතරින් සුපුරුදු පියවර ආයෙත් තියනවා.

- අරුණි කළුපහන -

Friday, January 17, 2020

මතක


එදවස
මා ඔබට ලියු
ඒ කවි සිංදු
ඔබව හිමි වූ ඇය
ප්‍රේමයේ සිතැතිව
ඔබ ළග
මුමුණනා හැඩ
හිත වේදනාවෙන්
රිදුම් දෙන තැන එතැන

පන්හිදට ගිනි අවුළුවා
පුළුස්සා දමා බෝ කල් වුව
යළි ඇවිලෙන්නට තරම්
ඔබ ගැන ප්‍රේමයක්
හිත තුළ තවමත්
දැවෙනා එකමයි
මට අරුමය !!

අරුණි
2020/01/03