Saturday, May 24, 2014

ඇහැලේපොළ කුමාරිහාමියි අතීතයයි - 01


   1814 මැයි 17 වෙනි ද ට එලි වෙද්දී නුවර අහස පුරාම කළුවට කළුවේ මහා මුසල අදුරක් මුහු වෙලා තිවුනේ මොකක්දෝ වින්නැහියක් වෙන්න යනවා කියලා කලින් ම ඉව වැටිලා වගෙයි.  ජනෙල් කුරු අතරින් අහස දිහාවේ බලාගෙන මොනවාදෝ හිත හිතා වුන්නු ඇහැලේපොල කුමාරිහාමිගේ හිත එක පාර හොයාගෙන ගියේ ටික දොහොකට කලින් සිද්ද වෙච්ච මහා මුසල සිදුවීම දිහාවටයි.

   එදා සබරගමුවේ රාජකාරි වැඩක් කොරගෙන එන්න කියාගෙන නිලමේ වේලපහින්ම ගියාට ආයෙම එන්න තව දවසක් දෙකක් ගත වෙන බව දන්න නිසාම වේලපහින්ම වලව්වේ වැඩ කටයුතු ටික අහවර කොරලා වලව්වේ දොරවල් ටික වහලා දරුවෝ ටිකයි සෙදෝ යි එක්ක වලව්වේ ඇතුලට වුනේ හොර හතුරෝ එනවා ටම නෙවේ  කොයි දේටත් පරිස්සම හොදයි කියලා දන්න හින්දා.

   රෑ දෙගොඩ හරිය වෙනකම් කාමරේ කොනක දැල්වුණු කැකුණ තෙල් ලාම්පුවත් හෙමිහිට පල්ලම් බහිද්දී  දැනෙන තිර පිළිස්සුම් ගදත් එක්ක යන්තම් ඇහැ පියවිගෙන යද්දී ඒක පාරටම විදියේ කොනකින් ඇහුනු අස්ස කුර ගැටෙන සද්දෙත් එක්ක කුමාරිහාමිගේ හිත ගැස්සුණ ත්  කවුරුන් හෝ පණිවිඩයක් රැගෙන මාලිගයට යනවා ඇති කියලා හිත සනසා ගෙන නින්ද සැරසුණා විතරයි අස්ස කුර හඩ ලං ලං වෙලා ඇහෙන්න අරගත්තා.

   ටිකක් වෙලා ඇහුම්කම් දීගෙන වුන්නු හන්දා දැන් නම් ටක්කෙටම අස්සයා ඉන්නේ ඇහැලේ පොළ වලව්වේ ගෙමිදුල දිහාවෙන් කියලා කුමාරි හාමිට සැකයක් නෑ..
 
    නිලමේ මේ මහා රෑ දෙගොඩ හරියේ එන්නේ නැති බව හොදටම දන්න හින්දා ම කුමාරිහාමි කොයි කටත් කියලා යහන පාමුල පැදුරු කඩමාලක් දාන් නිදන් වුන්නු සෙදෝ ව අවදි කරන්න තැනුවේ කොයි එකටත් තනියට සෙදෝ ව ඇහැරෝන එක හොදයි කියලා දැනුනු හන්දා යි.  ඒත් කුමාරි හාමි කොච්චර කතා කරත් සෙදෝ ව ඇහැරව ගන්න එක අමාරු රාජකාරියක් වුනා.

   ගෙයි මිදුලේ දෙතුන් දෙනෙක් දෙතුන් දෙනෙක් ගේ අඩි සද්දේ ඇහෙද්දී හිතට වෙර වීර්ය කර ගත්තු කුමාරිහාමි ජනේලය ලග ඉදන් පියන ලාවට ඇරලා එළිය බැලුවේ දොර අගුලු තදින් අගුළුලා ද කියලා තහවුරු කර ගත්තාටත් පස්සේ..

  පුර සද එලිය තිබුණු හින්දාම  චෙරි ගහේ බැදලා වුන්නු අස්සයවත් ඒ අසලම වුන්නේ රාජකීය හේවායනුත් අදුර ගන්න එක කුමාරි හාමිට අපහසු වුනේ නම් නැහැ..

  හෙමිහිට දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි ට මතක් වුනේ නිලමේ එක්ක දෙතුන් ගමනක් මාලිගාවට ගිය වෙලේ වඩිග රජු ගේ ඇස් වල තිබුණු මනමාල බැල්ම..

 " කවුද.. " තුන්වෙනි පාරටත් දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කුමාරිහාමි හිතට නැගුණු තරහෙන්ම ඇහුවා..

" කුමාරිහාමි.. මේ මම ශ්‍රී වික්‍රම.. "

   කුමාරිහාමි ගේ කටහඩ ඇහුණු දිහාවට ඇස් යොමු කල හෙයින් දෝ ජනේලය පියන යන්තමින් විවෘත බැව් දැක එතැනට පැමිණි රජුගේ ඝන රැවුලෙන් වැහුණු මුහුණ ජනෙල් පියන අතරින් පෙනෙන්නට විය. හිත තරමක් ගැස්සුණ ද ඒ බැව් රජු ට නොපෙන්වන්නට කුමාරිහාමි ඉටා ගත්තාය.

" නිලමේ ගෙදර නැහැ නොවැ..  ගියේ සබරගමු රාජකාරියකට බැව් ඔබතුමා දන්නවාත්  ඇති නේ.. "

" මම දන්නවා කුමාරිහාමි.. නිලමේ ම සබරගමු යැව්වේ මම යි..  මම ආවේ ඔබ හමුවෙන්නටයි.. දොර අරින්ට කුමාරිහාමි.. "

 රජ කෙනෙක් ට තරම් නොවෙන ඒ වදන් ඇසීමෙන් කුමාරිහාමිට නැගුනු කෝපය මෙතකැයි කිව නොහැකි තරම් ය.

 " ලැජ්ජා නැති මහරජ... ස්වාමියා නැති ගෙදරකට මේ  මහා රෑ පැමිණීමත් ඔබ වන්නෙකුට නොවටින්නකි.. ඒ නිසා වහාම මෙතනින් ඉවත් ව යන්න.. "

 හිතට නැගුනු කෝපය නිසාම ජනෙල් පියනත් වඩිග රජුගේ මුහුණට තදින් වසා දැමුවාය.

 " හඃ හොදයි කුමාරිහාමි.. එහෙනම් නුඹ විරුද්ධ වුනේ මේ රටේ මහා රජු ට බැව් සිහි තබා ගත්තොත් හොදයි.. පල විපාක ත් නුඹට බලාගන්න පුළුවන් ලගදීම.. හඃ  "

  තමන්ට සිදු වූ අවමානය දරාගත නොහැකිව රජු පිටව ගියේ කෝපයෙනි. අස්ස කුර හඩ නැගෙන වේගයටත් වැඩියෙන් කුමාරිහාමිගේ හිත ගැහෙන්නට වුයේ රාජ කෝපයට කල නොහැකි දෙයක් නැති බැව් දන්නා නිසාමය.

  එහෙත් එහෙමයි කියා තමන්ගේ සැමියාට ද්‍රෝහී වෙනවාට වඩා බෝගම්බර වැව් දියට පැන මියෙනවා සැපකි. මැරුවත් වඩිගයාට අවනත වෙන්නෙත් නැති බැව් සැබෑය.. එහෙත් මොහොතකට කලින් සිදුවීම නිසා හිතට දැනුණු බිය නිසාවට දෝ කුමාරිහාමි රෑ එලි වෙනතුරු හඩා වැටුනාය..

පාන්දර කුකුළාගේ කණිසමට ඇහැරුණු සෙදෝ කුමාරිහාමි යහන මත නොමැති නිසාවෙන් කලබලයෙන් හොයද්දීත් කුමාරිහාමි තවමත් දොර පාමුල කදුළු එක්ක කළුවර අහසට හුල්ලන ගමන්..


කුමාරිහාමි සෙදෝ එක්ක පෙරේදා රැයේ වෙච්ච දෑ කිව්වා වෙලේ ඉදන් හිතට දැනුණු කෝපයටත් වඩා ඇති වුනු බිය නිසාම සෙදෝත් කදුළු පෙරාගෙන දෙයියන්ට කියා කියා අඩන්න තියා ගත්තේ තමන්ගේ ජීවිතේටත් වඩා කුමාරිහාමිගෙයි නිලමේගෙයි අර අසරණ දරුවන්ගෙයි ජිවිත වලට වඩිග රජා මොනා කරයි ද  කියලා හිතේ අඩියටම දැනුණු බයයි අසරණකමයි හන්දා..



Thursday, April 17, 2014

සෙංකඩගල අහස

ඉස්සර දවසක අපි
දළදා විදියේ හමු වී
අහස උසට
පෙම් කරන්නට ඇති

අර ඈතින් තාමත්
පායා එන සද
පුන්සදක් ලෙසින්
බලා හිදින්නට ඇති

මේ සෙංකඩගල
අහස යට
අපේ බලාපොරොත්තු
මහා පවුරු බදින්න ඇති

ඉස්සරම දවසක
නුවර වැව රවුමේදී
අපේ දෑගිලි බැදුණා
තාමත් නිලමේට මතක ඇති

නපුරෙක් ඇවිත්
හිරු සදු තරු සේරම
වැව් පතුලේ හැංගුවා
දළදා හාමුදුරුවොත්
බලා හිදින්න ඇති

සෙංකඩගල අහස
දිවා රෑ නොබලා
තාමත් ඉකි ගසා හඩනවා
වැව් දියත් දන්නවා ඇති

මැද මිදුලේ
සමන් පිච්ච වැල
තාමත් මල් පිපි
සුවද හමනවා ඇති

මම නුඹ එනකම්
වැව රවුමේ
සක්මන් කරනවා
දේව සංහිද ලගටත්
පේනවා ඇති

" ඇයි පුංචි කුමාරිහාමි
නුඹ අදත් තනියම
නිලමේ තවමත් සුනංගු
දේවකාරියක් වෙන්න ඇති  "

ඉස්සර වගේම
වැව් දිය තාමත්
නුඹ ගැන අහනවා
නුඹත් දැන් දන්නවා ඇති

Thursday, April 10, 2014

අසම්මත කවියක ඉස්පිල්ලක් මත හිද නුඹට ලියමි...

නුඹ දකින සැරයක් ගානේ
රිදුනේ මටයි මගේ සිතටයි
වාරු නැතිව ඉකි ගසා හැඩුවේත්
මමයි මගේ හිතයි විතරමයි

අසම්මතයට බියෙන් ඇකිලී
නුඹ එපා කිව්වෙත් මමයි
දැක්කත් නුඹ නොදැක්කා සේ
ඉවත බලා උන්නෙත් ඒ මම මයි

කල්පයක් තරම් දිග ඈතක
ලෝකයක් අමතක කර
හිතින් ලංව උන්නෙත් අපි දෙන්නායි
මහා ඉවුරු කඩන් වැටුණු
මොර සූරන වැස්සේ
සීතලෙන් එකට ගුලිවී
හීනයක් මැව්වේත් ඒ අපි මයි

නුඹ යෙහෙලියන් හා මුහු වී
සිටිනු දැක තරහෙන් සිත
පාරවා ගත්තෙත් මමයි
නොලැබෙනා බව දැන දැන
නුඹට පෙම් කලෙත් ඒ මමමයි

රෑ නින්දෙන් නුඹ ගැන හීන මවා
ඉකි බිද බිද හැඩුවේත් මමයි
නුඹ අහිමි හීනයක් බැව් දැන දැන
නුඹ දකින්නට පෙරුම් පිරුවෙත් ඒ මමමයි

අන්සතු වී කුලගෙට යන්නෙත්
නුඹට පෙම් කල මේ හිතමැයි
මංගල දෝලාව ඔසවාගෙන
අද ආසිරි දෙන්නෙත් ඒ නුඹමයි

අසම්මතයක කොටු පවුරට මෙහා
ඉදන් මම විදි දුක් බෝමයි
එහෙව් හිතකට නුඹ දුන් ගින්දර
දරන්න බෑ පුදුමයි

කදුළක් හිනාවකින් මකන්න
නුඹ හොයාගෙන ආවා තමයි
ඒත් නුඹ ඔහොම කරන වග
දැන උන්නා නම්  මම
නුඹ දකින්න එන්නැහැ
සත්තයි...



Wednesday, March 5, 2014

Needy Readers අපි මන්නාරම් අහස යට...


“ 
පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙන සුර්යාලෝකය තවමත් මන්නාරම් කොටු පවුර හැර ගොස් නැත. හිරු රැස් උරා ගත් සාගර ජලයේ දිය රැලි රන්වන් පැහැයෙන් දිලෙයි. ඈතට ඈත ට විහිදෙමින් සුර්යාලෝකයේ ගිනියම් පැහැය තුල නො පෙනී යන ක්ෂිතිජ රේඛාව මෙන් ම මගේ ජීවිතය ද ඉවක් බවක් නැතිවසීමාවක්ඉමක් දැකිය නො හැකි ව ඇදී ඇති අපැහැදිලි රේඛාවක් වැනි ය. උස්ව නැගී බිදී යන මුහුදු රැලි මෙන් ම මගේ දිවිය ද අවිනිශ්චිත නොවේ ද ? “

                                   -  කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා (පෘතුගීසි සමය) - 


        ගෙවෙන නවම් මහේ පසුගිය
 22 වෙනි සෙනසුරාදා හැන්දෑ යාමය මන්නාරම් තානායමේ ම ගත කරන්නට හිතානපෙර දවසේ කොළඹෙන් මන්නාරම් බලා එන්නට මොහොතකට පෙර සරසවියෙන් ගත්තු සෙංකඩගල මහා බිසෝ පොතේ පිටු පෙරළුව ද හිත මොහොතකට වත් එක්තැන් කර ගන්නට නො දෙන තරම් ම ගිනි කාෂ්ටකේ දෑසට පීඩා ගෙන  දෙන්නට විය.
        අතට ගත්තු පොත එහෙමම අතේ දරා ගෙන තානායම් දොරටුවෙන් එලියට ගැටුවේ අයාලේ යන හිතට ඉඩ දී මිට පෙර පහස නො ලැබූ මන්නාරම් ඉසව්වේ ඔහේ ඇවිද යන්නට ය. ඉතින් අහුවෙන පාරවල් දිගේ ගොස් අතර මග දී හමුවෙන මන්නාරම් යුවතියන්ගෙන් පාර  අසාගෙන මන්නාරම් නගරයට යන මග හොයා ගතිමි. සල්වාර් ඇදුමෙන් හිස ගත වැසුණ ද කුංකුම තිලකේ නළලත් හැඩ කල  ද එක පාටක් මනුස්ස කමේ ලෙයක් සිරුර පුරා කිරුල දැරූ නිසා දෝ නොහදුනන නගරයක අතරමන් නොවී හරි හැටි සිමා මායිම් වත ගොත විස්තර දැන ගැනීමට හැකි වූ බවද නොකියා බැරිය. 

     මන්නාරම් නගරයේ පසකින් අහස උසට වියන් බැද ඇත්තේ මන්නාරම් කොටු පවුර යි. සිය වස් දහස් ගණනකට මෙපිටින් දහ නම වියැති මා ද පෘතුග්‍රීසි යුගයේ දහ නම වියැති දෝන කතරිනා කුමරියත්
  කොටු පවුරේ සක්මනේ යෙදුණු මොහොතෙහි නම් වෙනසක් නොවූ බව සොබා දහම නම් අපූරුවට කියා පෑවේ ය.
     උස්ව නැගී බිදී යන මුහුදු රැලි සේම අවිනිශ්චිත යයි හැඟෙනගිනි අළු යටින් හෙමිහිට සිය රශ්මිය විහිදුව න  මන්නාරම් අහස යට තවමත් හෙමිහිට මෝදු වෙන තරු කට ගොන්නකට දැනුම් සයුර කරා යන ගමනක පෙර ගමන් කරුවෝ වෙන්නට මිට ටික කලකට පෙර දැනිනු හැඟීම යථාර්ථයක් කරමින් මේ මන්නාරම් මහා පොලවට අපි සපැමිණි බැව් මන්නාරම් සුළගත් මමත් විතරක් දන්නා රහසක් නොවිණි.
    ඉතින් මෙහි මේ කොටු පවුරේ හුස්ම සුළඟට මුහු වෙන මායිමේ ඉන්නේ මම පමණක් ම නොවේ. මගේ සගයනුත් මා සමගිනි. 

      සමාජ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික සහයෝගිතාව (
International Movement for Community Development) හෙවත් IMCD ආයතනයේ  අපි මේ මන්නාරම් අහස යටට පැමිණියේ තවත් එක් අපේ ව්‍යාපෘතියක් සඳහායි.

     එනම් පොතක් දී අනාගතයක් එලිය කරමු( DONATE A BOOK, LIGHT A FUTURE )  යන තේමාව අනුව යමින් පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන Needy Readers ව්‍යාපෘතිය අපේ මවුබිමේ මෙන් ම දසත මුළු මහත් ලෝකයේ විසිරී සිටින දානපතියන්ගෙන් ආධාර ලෙස ලැබෙන නව සහ පාවිච්චි කරන ලද  පොත් පත් එක් රැස් කර ගෙන කියවීමට කැමති දැයේ  අහිංසක දුවා දරුවන් වෙත ලබා දීමේ මහඟු කර්තව්‍යයේ තවත් එක් පියවරක් තැබීමට ඉතින් අප පසුගිය පෙබරවාරි 22 වෙනිදා මන්නරම අඩම්පන් පාසලේ දී සුදානම් වීමු.

    Needy Readers ව්‍යාපෘතිය යටතේ 2012 වර්ෂයේ සිට දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයකට පුස්තකාල පොත් බෙදා දී ඇතත් මෙහි දී සිදු කරනු ලැබූ කර්තව්‍යයේ විශේෂත්වය වන්නේ උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසායි.  පොත් 1500කට අධික ප්‍රමාණයක්  තේවන්පීඩි රෝමානු කතෝලික දමිල මිශ්‍ර විද්‍යාලය, තුයා ජෝසෙප් වාස් මහා විද්‍යාලය,  තෙඩ්චානර් මතුතම්න්දු රජයේ දමිල මිශ්‍ර විදුහල හා අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්  4කට සහ මන්නාරම් යුද හමුදා කඳවුරට අවැසි පොත්  ඔවුනට ලබා දිම අරමුණු කර ගනිමින් අප එදින අඩම්පන් විදුහල් පරිශ්‍රය කර පිය නැගුවෙමු. 
      මෙය අපට ඉතා ම සුවිශේෂිත ය. මන්ද  උතුරු පළාතේ සිදු කල පළමු සමාජ සත්කාරක සේවය මෙය වන නිසා යි.
   දශක 3කට අධික කාලයක් රුදුරු යුද්ධය නිසා ගතින් සේම සිතින් ද අපමණ දුක් කරදර විදි දරු දැරියන් අබිමුවට ගොස් ඔවුන් හා කෙසේ කතා බහා කරන්නද කියා චකිතයක් හිත පුරා දිව ගියද ඔවුන් දුටු පළමු දසුනින් ම එය පහව ගිය බව නම් කිව යුතුමය. 
     ඔවුන්ගේ ආගමානුකූල ව නළල තට තිලක තබා මල් මාලා පලඳිමින්  අමුත්තන් වූ  මන්නාරම් මඩු අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන් , පාසල් හතරේ විදුහල්පතිවරුන් , ශ්‍රී ලංකා හමුදාවේ 54 වෙනි සේනාංකයේ  නිලධාරින් , පාසල් 4හි සිසුන් සහ IMCD, Needy Readers සාමාජිකයන් පිලි ගනිමින් අඩම්පන් විද්‍යාලයේ සිසුන් ඔවුන් ඔවුන් ගේ හදපත්ලෙන් ම ඔවුන්ගේ ළෙන්ගතුකම විහිදු ආකාරය නම් අපුරු ය. 
   එක් තැනක තිබුණු හරිම අපූර්ව ලෙස කෝලම් රටා මවා ඈඳී කෝලම් සිතුවම කාගෙත් නෙත් සිත් පැහැරගත් බව නම් නිසැකයි. 
    විවිධාකාර සොඳුරු අංගයන්ගෙන්  සැපිරූ උත්සවයක් මධ්‍යයේ පොත් බෙදා දීමෙන් අනතුරුව ඔවුන් සබකෝලයෙන් තොර ව අප හා එක්ව කතා කරමින් සෙල්ලම් කරමින් දවස ගෙවූ ආකාරය ද අපුරු ය. 
තල් අරණක ජීවිතය ගෙවුන ද ඔවුන් මහඟු දස්කම් ඇති දුවා දරුවන් පිරිසක්. හෙට ලෝකය අපෙන් පසු රැක ගන්නට තරම් නායකත්වයෙන් හෙබි පිරිසක්. අපිට වුවමනාද එයයි. 
     ඉතින්,  හැම දෙයක් ම ඉතාමත් සාර්ථක ලෙසින් නිම කරමින් ආපහු කොළඹ බලා එන්න පිටත් වීමු. ඒ ද තවත් එක කාර්යයක් අවසන් යයි කියා සිතා නොවේ ජීවිතයට  ලැබුණු අපුරුතම අත්දැකීම ගැන ආඩම්බර වෙමිනි.
     ජීවිතය ඇත්තේ ආගම් බේද ජාති වාද ඇතුළත නොවේ එයින් ඔබ්බට ගිය මනුස්ස කම තුලය. හිත මිතුරු කම ගොඩනැගෙන්නේ එක සිනා රැල්ලෙන් මිස උප්පැන්නයෙ එක තීරුවකින් නොවේ.  ජීවිතය ඇහිඳිය යුත්තේ එක පොළොවක් මත හිඳ මිස තනි වුනු එක පොලෝ කුහරයක තුල  හිඳ නොවේ. 
  වරුවක එකමුතුවකින් වුව ද මන්නාරම් තුඩුවේ දරුවන් අපට කියා දුන්නේ එයයි. නිවී දිලිහෙන ආකාසේ ලොකු තරු කණමැදිරි එලි දල්වන පුංචි තරු පොකුරු ව කවදාවත් එලිය මදි කියල අහසින් එළවන්නේ නෑ. එක අහසක් යට ඉද ගෙන සැවොම එකා සේ ලෝකේට සේවය කරනවා. අවිනිශ්චිත ජීවිතයෙන් අතරමන් නො කර පාර කියනවා.
සැවොම එකා වන් ව නැගී හිඳිනවා. ඇති හැකි යයි බේද නැතිව ඒකම පවුලක් ලෙසින් දිවි ගෙවනවා. 
  
   එයයි ජීවිතය.. එයයි ආගම.. එයයි ජාතිය.. එයයි මනුස්ස කම.. 

ජායාරූප :

මන්නාරම් අහස 

IMCD ආයතනය පිළිබද හදුන්වා දෙමින් 

යුද හමුදා 54 වෙනි සේනාකයේ නිලදාරී තුමන්ට සංකේතාත්මකව පොත් ලබා දෙමින් 

පාසල් සදහා පොත් සංකේතාත්මකව ලබා දෙමින් 
කෝලම් රටා 

මන්නාරම් කොටු පවුර


- අරුණි කළුපහන -    




Saturday, February 1, 2014

_ දුවිලි සුවද _


ඉස්සර මං පුංචි කාලේ අපේ ගෙවල් වලට යන්න තිබුනේ ගුරු පාරක්... ඒ ගුරු පාර අපේ ගෙවල් පහු කරගෙන තව ගොඩක් දුර ගියා. තවත් අයගේ ගෙවල් වලට පාර කිය කියා...

ඒ දවස් වල ඒ ගුරු පාර දෙපැත්තේම එක එක ජාතියේ මහා ගස් ගුරු පාරට සෙවණ දීගෙන හිටගෙන උන්නා. ඒ සමහර ගස් වලින් වැටුණු හුලං කුරුල්ලෝ ගුරු පාර පුරාම තිබුණා.. ඉස්සර පුංචි කාලේ මගේ එකම ආසාව උනේ හුලං කුරුල්ලෝ අහුලන එක.. හුලං කුරුල්ලාව අහසට විසි කරාම කැරකිලා කැරකිලා  ආයෙම පහලට එන එක බලන තරම් ආසාවක් මට වෙන තිබුනේ නෑ..

ඉස්සර ඉස්කෝලේ යන සිසුසැරිය සීටිබි බස් එක එන්නේ ඔය ඔය ගුරු පාර පටන් ගන්න තැනට... ඉතින් එතැනට අපේ ගෙදර ඉදන් ගෙවල් තුන හතරක දුර යන්න ඕනා.. ඒ යන ටික යන්න අනිත් අය විනාඩි තුන හතරක් ගත්තාට මට විනාඩි 10 කට වඩා ගියා..

මොකද මට ඕනේ වුනේ නෑ පුංචි ගුරු පාරේ වගේම අවට පරිසරයේ තියෙන එක දෙයක් වත් මග හැර ගන්න..

පුංචි මං ඒ පාරේ තිබුණු සමහර දේවල් වලට නොසෑහෙන්න ආදරේ කරා.

ඒවායින් එකක් තමා දුවිලි සුවද... කාෂ්ටක අව්වට පිච්චි පිච්චි කරවුණු මහා පොලවට හවස් වෙද්දී එක දෙක වැහි බින්දු  වැටෙද්දී ගුරු පාරේ බොරළු කැට වලට මුසු වුනු වැහි සීතලත් එක්ක නැගෙන දුවිලි සුවදට අවුරුදු පහ හයක පුංචි එකෙක් වෙලත් මං ආදරේ කළා..

වැහි කාලේට ගුරු පාර දෙපැත්තේ ගුරු පාරයි වත්තේ මායිමයි වෙන් වෙන තැන පස් ටිකක් අයින් කරලා හදපු කාණු වැහි වතුරෙන් පිරිලා ගලන් යන කොට තැනින් තැන තියෙන පුංචි වැව් පොකුණු වලින් පැනගෙන එන මාළු පැටව්, ඒ අස්සෙන් රිංගන පුංචි ඉස්ගෙඩි අල්ලන්න පොල් කට්ටක් අරන් වතුරට බැහැලා පුංචි මාළු පැටියෙක් ඉස්ගෙඩි යෙක් පොල්කට්ටට දාගෙන තියන් ඉදන් අයිති කර ආසා වුනත් උන්ගේ පවුලෙන් උදුරා ගන්න බැරි දුක ලපටි හිතට දැනුනු නිසා ආයෙම වතුරට දාපු අතීතයක් තිබුණා..

හැම වැහි කාලෙකම මාළු පටවුන්ටයි , දුවිලි සුවදටයි ආදරේ කළා වගේම කාෂ්ටකයෙදී ගතයි හිතයි පුච්චලා දාන්න හදන අකීකරු අව් සැරටයි නපුරු කාෂ්ටක හුලගයි එක්ක තරහා වෙන්න තරම් නපුරු කමකුත් මගේ ලපටි හිත් කොනක තිබුණා..

අපේ ගුරු පාරට මම පුංචි කාලේ කවුරුත් කිව්වේ දෙවැට පාර කියලා.. ඒ දෙවැට පාර දිගේ උඩ පැන පැන නට නටා හිතත් එක්ක දොඩමලු වේවි  අවුරුදු දහ තුනක්ම ඉස්කෝලේ ගියා.. ඒ කාලේ පුංචියට තිබුණු ගස් මාත් එක්කම ටික ටික ලොකු උනා. සමහර ලොකු ගස් අනිත් පුංචි ගස් වලට ඉඩ දීලා යන්නම ගියා..  ගුරු පාර දිගට ඉස්සර මං පුංචි කාලේ වැටිලා තිබුණු සුළං කුරුල්ලෝ වෙනුවට ටික ටික කල් යද්දී මුළු ගුරු පාර ම මැයි මල් වලින් වැහිලා ගියා. සමහර කාල වලට ඇහැල මල්..  තවත් කාල වලට අරලියා මල්..

ඒ කොහොම වුනත් ඒ කාලේ තිබුණු මාත් එක්ක දොඩමලු වුනු ඒ ගස් දැන් ගොඩක් වියපත්.. . තව ටික කාලෙකින් එයාලත් යන්න යාවි. හරියට ගුරු අනිත් අය කිව්වා විදියට දෙවැට පාර, තාර පාරක් වුනා වගේ..

ඉස්සර ගස් වල අතු රැහලා, ඒවායින් හදලා තිබුණු වැට මායිම් නැති වෙලා කොන්ක්‍රීට් කොට ගමට ආවා වගේ..

දන්න දා ඉදලා හිතත් එක්ක දොඩමලු වුනු ගහකොළ, මාළු පැටව්, ගුරු පාර, දුවිලි සුවද කාලෙත් එක්ක ටිකෙන් ටික නොකියාම හැංගිලා ගියා වගේ..

 ඒ කාලේ නොසෑහෙන්න මම ආදරේ කරපු මට ආදරේ කරපු ඒ ගුරු පාර අද අවුරුදු දහ නවයක් කෙල්ලක් වෙලා මම එද්දී අද මට හුමිටි තියන්නේ නැති තරමට නිහඩ වෙලා..

ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී පන්ති , පාසැල් වැඩ ඒ හැම දෙයක් අස්සේ ඔරලෝසුවටත් වඩා ඉක්මනට කඩිමුඩියේ දුවපු කාලේ ගුරු පාර ගැන මගේ අවදානේ ගිලිහුණු කාලේ ගුරු පාරත් ටිකෙන් ටික සමුඅරගෙන..

සිමා මායිම් නැතිව හිත් පුරාවටම ආදරේ කරපු ගුරු පාර, මාළු පැටව්, දුවිලි සුවද ආයෙත් පෙරලා , සිමා මායිම්, බන්දන නැතිව මට ආදරේ කරපු හැටි..  ඒ ආදරෙන් එක මොහොතක් හරි අසරණ වෙන්න නොදී පුංචි හුලගකින්, වැහි බිංදුවකින් මගේ ලපටි හිත සනසපු හැටි..

ඒ හැම දෙයක්ම කාලය හොරා ගෙන ගිහින්.. හදවත අස්සෙයි කොලයක් අස්සෙයි ලියා ගෙන හිර කර ගත්තු සිමා මායිමක කදුළු ගල් වුනු ලෝකේක මැරී මැරී උපදිනවාට වඩා කවදාවත්ම ලොකු වෙන්නේ නැතිව හුලං කුරුල්ලෝ එක්කම ඉන්න තිබුණා නම්....