Monday, September 12, 2016

තහනම් ගහේ ගෙඩි ඇයි එච්චර රතු??

ලෝකය මැවුම්කරුවාණෝ ලෝකයේ මැවීමෙන් අනතුරුව තහනම් ගහේ ගෙඩි කන්නට එපා යැයි කියා ලෝකයේ පළමු නීතිය ආදම් සහ ඒවාට පැනවූවේය. නමුත් කවදත් කියන දේ නාහන මිනිසාගේ පුරුද්ද පෙන්නන්නටද කොහේදෝ දෙවියන් එපා කියූ තහනම් ගහේ ගෙඩි ලොව පළමු මිනිසා සහ ගැහැනිය හොඳ හැටි රස වින්දෝය. කීව දේ නාහන එකා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි සිතූ දෙවියෝද අහක බැලුවේ ඉන් අනතුරුවය.

අතීතය ඔහොම වෙද්දී තහනම් ගහේ පලවලට ඇති ආසාව නම් මිනිසුන් කෙරෙන් තවමත් නික්ම ගොසින් නම් නැතිය. ඒ නිසාමද කොහේදෝ තහනම් ගස්වල පලදාව සොයා ගොසින් සිදුවන අකරතැබ්බ ගණනාවද දවසින් දවස ඉහළ යනවාය. මිනිසුන් ඇනකොටා ගන්නවා විතරක් නොවේය. මේ නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්නෝද බොහෝය. එවැනි කතන්දර අසන්නට දකින්නට ඇති ආසාව නිසාම දෝ අද බිහි වන තරමක් බිහි වන්නේද තහනම් ගහේ ගෙඩි කන්නට යෑම ගැන ලියැවුණු නිර්මාණය.

ඕවා ඔහොම වෙන බව දැන සිටි නිසාදෝ කලකට පෙර ආයෙම සැරයක් දෙවිඳුන් ඇවිදින් අන් වස්තූන් ආශා නොකරව, කාම මිථ්‍යාචාරය නොකරව, අසල්වැසියාට ප්‍රේම කරව කියා මිනිසුන්ට තරවටු කර ගියෝය. ඒත් ඉතින් හැදුණේ නම් මිනිසා නොවේය.

දෙවිඳුන් කී පනත් අතරින් අපේ ඇත්තෝ අසල්වැසියාට ප්‍රේම කරවා පනත නම් ඉසමුදුනින්
පිළිගන්නවාය. නමුත් දෙවිඳුන් කී ලෙස අසල්වැසියාට ප්‍රේම කරමින් නම් නොවේය. එනම් දෙවිඳුන්ට අනුව අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔවුන් ඝාතනය කරන්නේවත්, ඔවුන්ට බොරු කියන්නේවත්, ඔවුන් සමඟ කාමමිථ්‍යාචාරයේ හැසිරෙන්නේවත්, ඔවුන් සතු දේට ආශා කරන්නේවත් නැතිය. නමුත් අපේ කාලයේ මිනිසුන් ඒ පනත පිළිපදින්නේ අසල්වැසියාට කෙසේ වෙතත් ඔහුගේ බිරියට ප්‍රේම කිරීමෙනි.

තහනම් ගහේ ගෙඩි කන්නට යෑම එහෙමත් නැති නම් අනියම් ප්‍රේමය සඳහා ලෝකය විසින් දෙනු ලබන සංකේතය රතු ඇපල්ය. කුණු ලේ පැහැති රතක් වූ එම පැහැය නම් අපූරුවට එයට ගැළපෙනවාය. මන්ද අනියම් ප්‍රේමයන් බහුතරයක්ම අවසන් වන්නේද මිනී මරා ලේ විසුරුවා හැරීමෙනි. ලේද ඉතින් ඇපල් රතු පාට බව කිව යුතු නම් නොවේය.

පසුගිය දවසක මහ දවාලේ බදුල්ල නගරයේදී මිනිහකුට පිහියකින් ඇන කෘෘර ලෙස මරා දැමුවේ දෙනෝ දාහක් ඉදිරියේය. ඊට හේතුවද ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධතාවකි. කෙසේ වුවත් එක මිනිසකුවත් මිනී මැරුම නවතන්නට එක අඩියක් එසවූයේ නම් නැතිය. හොඳින් බලා සිටියා පමණකි. ඒද ඉතින් මිනිසුන්ගේ හැටිය.

ලංකාවේ බහුතරයක් පවුල් අවුල් වන්නට හේතුවද මෙම අනියම් ප්‍රේමයන්හි පැටලීමය. ඉස්සර කාලේ නම් ගම් දනව්වල ඕවා සාමාන්‍ය සිද්ධීන් ගණයට දමා තිබුණද අද කාලේ සිදුවන මිනී මරා ගැනීම් හේතුවෙන් ඒවා නම් තවදුරටත් සාමාන්‍ය සිද්ධීන් හැටියට ගණන් ගත යුතු නැතිය.

ප්‍රේම කළාට නම් ඉතින් කාටත් ‍ෙදාසක් කියන්නට නම් බැරිය. එය මිනිස් අයිතිවාසිකමකි. නමුත් ඉතින් නීත්‍යනුකූල නොවුණු ප්‍රේමයන්හි පැටලීම නම් ජංජාලයකි. රාජකාරි කටයුතු අවසන් වෙන වෙලාවට නම් ඔය අනියම් ප්‍රේමයන් කෝච්චිවල බස්වල ඕනේ තරම් දැකගත හැකිය. පාසලේ ගුරුවරුන්ද ඔය අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයන් වෙන වෙලාවල් තියෙනවා. ඕවා ඉතින් පාසල්වල දරුවන්ටද රහස් නොවේය. ඕවා බලන් ඉන්න එකේ දෙකේ පුංචි දරුවෝද ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නේ ටීචර්ලාව අනුකරණය කරන්නටය. ඉතින් දවසක ඒ දරුවන්ගේ ජීවිතද අඳුරේ වැටෙන්නට ඉඩ ඇති බව නම් කිව යුතු නොවේ.

ඒ වගේම දැන් කාලේ පාසල් සිසු සිසුවියන්ද විටෙක මෙම අනියම් ප්‍රේම කුලකයේ සාමාජිකයෝය. ස්ථීර වූ එක් ප්‍රේමයක් තබා ගන්නා අතරේ තවත් අනියම් ප්‍රේමයන් දෙක තුනක් තබා ගන්නේ ඉතින් විනෝදෙටය. නමුත් ඕවා හසු වූ දිනෙක කොහොමින් කොහොම වේද කියා දන්නේද දෙවියෝම පමණකි.

ඉස්සර රජ කාලේ රජවරුන්ද මේ බහු ප්‍රේමයන්හි නියැළෙන්නට හරි රුසියෝය. ඒ නිසාම රන්, රිදී, යකඩ දෝලි කියා ගෑනු දෙතුන් දෙනා සහේට ගත්තා විතරක් නොවේය. දකින දකින ගැහැනි ගෙනැවිත් තියා ගන්නට අන්ත--පුරය කියා එකක්ද නිර්මාණය කළේය. රජතුමන්ට කෙතරම් ගැහැනුන් උන්නාද කීවොතින් සමහර අන්ත--පුර කාන්තාවන් ගෙනාව දවසින් මතු රජුව දෑසටවත් දැක නැතිය. අඩු තරමේ රජුටවත් ඔවුන්ව මතක නැතිය. රජු විතරක් නොවේය. රජ්ජුරුවන්ගේ ගෝල බාලයෝ වෙච්ච මැති ඇමැතිවරුන්ද ඒ කාලයේ ඉඳන්ම රජතුමන්ව අනුකරණය කරනවාය. රජතුමන්ලා කෙසේ වෙතත් මැති ඇමැති ගොල්ලන්ගේ කෙරුවාවට නම් අද කාලෙත් උදාහරණ ඕනේ තරම්ය.

අනුකරණයට ආසාව ඇති නිසාම ඕවා බලන් ඉන්න ඇමැති ගෙදර සේවකයාගේ පැටිකිරියත් ඔය වගේම වෙන්නට පුළුවන්ය.

නමුත් ඉතින් සෑම දරුවෙක්ම, බිරියක්ම සැමියෙක්ම මේ අනියම් ප්‍රේමකුලකයේ සාමාජිකයෝ කියා අපි නොකියමු. අනියම් ප්‍රේමයන්හි නොපැටලී ලස්සන පවුල් ජීවිත ගත කරන අය ඕනේ තරම්ය. නමුත් සමහරුන් අරහෙමය. ඒවාට නම් ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුද නැත්නම් පුරුද්දට වඩා ජන්මෙ ලොකුද කියා අපි නොදනිමු. නමුත් කොතැනක හෝ වැරැද්දක් ඇති බව නම් පේනවාය.

එක්කෝ ප්‍රේම කරන කෙනා දත යුතුය. නැත්නම් ප්‍රේමය ලබන කෙනා දත යුතුය. එසේත් නැතිනම් ඉතින් ජීවිතය අත හරින්නට වුව සූදානම් විය යුතුය. තීරණය ඇත්තේද ඔවුන් සතුවමය. නමුත් ඔවුන් කුමක් කළද කීවද දුක් විඳින්නේ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිත මිතුරන්ය.

අරුණි කළුපහණ



No comments:

Post a Comment