Friday, November 9, 2018

තරු දිලුන අහසක් යට

කොළඹ අහස යටින් හිරු අවරට යන්න තවත් හෝරාවක් දෙකක් ඉතිරිව තියෙන්නට ඇති. ඕෂධීගේ 28 වන උපන්දිනය සමරන්නට හැමෝම ටිකෙන් ටික වෙරළ තීරය අසල තිබු අවන්හලට එක් රැස් වුණේ අතීත මිතුදම් හා බැඳි ආදරණීය මතකත් දෝතින් අරගෙන. අවන්හලේ අඳුරු කෙළවරකට වී චේතිය බීර වීදුරුවත් අතැතිව බලාගෙන හිටියේ අමුත්තන් සාදයට පිවිසෙන දොරටුව දිහාවේ. ඒ, ඇය ඒවි යැයි ඔහුගේ හිතේ පුංචිම බලාපොරොත්තුවක් හෝ තිබුණු නිසාවෙන්. එහෙම නෙවෙයි කියලා හිතට බොරු කරන්න චේතියට බැහැ.

අවුරුදු පහකට ඉහත දවසක දී අවසන් වතාවට ඇයව ඇහැ ගැටුණ මොහොත චේතියට තවමත් එලෙසින්ම මතකයි. තමන් ඇස ගැටුණ හැටියේම කඳුළු පිරි දෙනෙතින් ඇය ඉවතට දිව ගිය අයුරුත් ඉන් දින කිහිපයක් ගෙවී ගිය තැන විවාහ වූ ඇය, රට හැර ගිය බවත් චේතියට කීවේ මියුරු. මියුරු ඇතුළු චේතියගේ මිතුරු පිරිසම විවාහයට එක් වුවත් චේතිය එදින පටන් ජීවිතය වැඩි හරියක් ගෙව්වේ ඕනෑකමින් නෙවෙයි. පාළු රාත්‍රීන් ළඟ ඔහුට බොහෝ විට තනි රැක්කේ මධුවිත. හුදකලාව දරා ගත නොහැකිම තැන වන වැදුණු ඔහු පරිසරය හා එක්ව රස්තියාදුවේ ගියේ කැමරාවත් අතැතිව. චේතියගේ කඳුළු, බරැති සුසුම්, පාළුවට ගිය හදවත දරා ගත්තේ ගහකොළ.

"දන්නවද චේතිය, ඔයා හඳ නම් මම තරුවක් වෙනවා අහසේ. ඔයා ඉරක් වුණොත් මං වළාකුළක් වෙලා ඔයා ගාවම ඉන්නවා. කවදාවත් දාලා යන්නේ නැහැ."

"එතකොට මම තරුවක් වුණොත්.. ඔයා මොකද කරන්නේ අමා.. ? "

"ඔයා තරුවක් වුණොත් නේද ? එතකොට මම වල්ගයක් වෙලා ඔයාව වල්ග තරුවක් කරනවා."

තමන් එදින උස් හඬ නගා හිනැහෙන විට දී ඇය ද තමන්ගේ උරහිසට වාරු ව සිනහා වූ අයුරු තවමත් ඔහුට ඇහෙනවා වගේ දැනෙනවා. තමන්ගේ අහසේ හුළඟක් වෙලාවත් රැඳෙන්නට ඇයට නොහැකි වුණේ ඇයි කියලා ඔහු තවමත් හිතනවා.

"මචන්.. "

පසෙකින් සිටි මියුරු චේතියට ඇස්වලින් පෙන්නුවේ ඕෂධී හා එක්ව කතාබහක නියැලෙන ඇයව. එහෙනම් ඇය ඇවිත්. ඒ අමා. පස් අවුරුද්දකට පෙර වචනයක්වත් නොකියා යන්නට ගිය ඇය. චේතියගේ අතේ මත්පැන් වීදුරුවක් දකින හැම මොහොතක ම ඇය ඉස්සර තරහින් රතු වෙනවා. ඒ ආදරේට. ඔහුට ආයෙත් ඇයව පරික්ෂා කරන්න හිතුණා. ඔහු බීර වීදුරුව පසෙකින් තබා අසල තිබු මත්පැන් වීදුරුවක් සුරතට ගත්තා. ආදරේ දී හැමෝම බොළඳයි. ඔහුත් එහෙමයි. ඉස්සර හිටපු අමා චේතියටත් වැඩිය බොළඳයි. ඒත් දැන් ඇය ගැන ඔහු දන්නේ නැහැ. ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න ඔහුට බැහැ. නමුත් හිත කීරි ගස්සපු වේදනාව ඔහුට තවම අමතකත් නැහැ.

ඇය ඕෂධීගේ යෙහෙළියක්. දවසක් නාඳුනන ලෙසින්, අහම්බෙන් ඕෂධීත් සමඟින් එන ඇය අන්තිමට චේතිය ගාව නතර වෙන්නේ මුළු හිතම අයිති කරගෙන. එතැන් පටන් වසර දෙකක් තිස්සේ ගෙවී ගිය ආදරයක ආදරණීය මතක කාටවත් තවමත් අමතක නැහැ. වෙනස් වුණේ ඇය විතරයි.

"චේතිය..."

ඕෂධී ඇවිත් පසෙකින් හිඳ ගත්තේ මියුරු ළඟින් ඉද්දීමයි. චේතිය කිසිවක් නොකියා ඇය දිහාවේ බැලුවා.

"අමා ඇවිදින්. දැක්කද..?"

"හ්ම්ම්..."

"කතා කරනවද ?"

"ඕනි නැහැ ඕෂධී...  මොනවා කතා කරන්නද ? "

"මං ඔයාට බල කරනවා කියලා හිතන්න එපා චේතිය. ඒත් ජීවිතේ හදාගන්න ඔයාලා දෙන්නම තවමත් පරක්කු නැහැ. මං දන්නවා ඔයා වගේම අමාත් තවම දෙන්නට දෙන්නා ආදරේ කරනවා. නෑ කියන්න හදන්න එපා චේති... මං ගොඩක් දේවල් දැනගෙන උන්නත් අමා මට කවදාවත් ඒවා ඔයාට කියන්න ඉඩ දුන්නේ නැහැ. අදටත් එයා කැමති නැහැ ඔයා මේවා දැනගන්නවාට. ඒත් අමා ඒ කසාදෙ කරේ අමාගේ අම්මගේ බලකිරීමට. රවින්දට අමා කවදාවත් කැමති වුණේ නැහැ. අමා ආදරේ කරේ ඔයාට. ඒ නිසාම එයා කසාදෙන් මාස තුනක් යද්දී ඩිවෝස් වෙලා වෙනම ජීවත් වුණේ. අවුරුදු හතරකටත් වැඩි තමයි චේතිය. ඒත් එයා ඔයාගේ ජීවිතේ අවුල් කරන්න කැමති නැහැ. ඒකයි එහෙම කරේ. අමා මට හැමදාම කිව්වේ ආදරේ කියන්නේ අයිති කරගැනීම ම නෙවෙයි, ආදරේ කරන අයව සතුටින් තියන එක කියලා. එයාට ඕනි එයා නැතිව හරි ඔයා සතුටින් ජීවිතේ ඉස්සරහට යනවා දකින්න. අමා හිතන්නෙ එහෙම. මටත් මේ හැම දෙයක් ම දැනගෙන සද්ද නැතිව ඉන්න සිද්ධ වුණත් මං දැන් මේ ටික කියන්නේ ඔය දෙන්නගෙම ජීවිතවල සතුට තියෙන්නේ ඔයාලා ගාව කියලා මට නොකියා ඉන්න බැරි නිසයි. ඔයාලා අයිති ඔයාලට. කතා නොකර, අඳුරන්නේ නැහැ වගේ ජීවිතේ ගෙවනවාට වැඩිය වැරදුණේ කොතැනද කියලා හිතලා, එතනින් ආපහු පටන් ගන්න උත්සාහ කරමු. එයා තව ටිකකින් ආපහු යන්න කලින් මං කියනවාට එක පාරක් අමාට කතා කරන්න. ඔයා එක පාරක් කතා කරොත් එයා සිය පාරක් ආපහු ඒවි. "

ඕෂධී තව ගොඩක් දේවල් කිව්වා. චේතියට ඒවාත් ඇහුණා. ඒත් ආදරේ කරේ ජීවිත කාලෙටම මිසක් එක දවසින් දෙකින් අමතක කරන්න නෙවෙයි. අමා ගැන චේතියට තිබුණේ එහෙම ආදරයක්. අමා ඒ ආදරේට බෝසත් ප්‍රේමයක් කියලා නමකුත් ඉස්සර හදලා තිබ්බා. අමා අන්ධ වෙලා, ආබාධිත වෙලා ආවත් ඒ ආදරේ වෙනසක් නොවෙන බව චේතිය දන්නවා. ඒ ආදරේ හැටි. මධුවිත බඳුන පසෙකින් තැබූ චේතිය හෙමිහිට අමා ඉන්න දිහාවට පියවර තැබුවා. චේතිය එන බව දැක දැකත් පුදුමයෙන් බලා උන්නා මිසක් ඇය පැනලා දිව්වෙත් නැහැ.

"ආදරේ කියන්නේ හුස්මවලට පණ පොවලා, ජීවිත උපද්දන එක. අපි ආයෙත් ජීවිතේ නැවතුණු තැනින්ම පටන්ගමු අමා. සුළඟ වගේ එතිලා අපි, අපි ගාවටම වෙලා ඉමු. කාගෙවත් අහසක තරුවක්වත් හඳක්වත් වෙන්න ඕනි නැහැ.  අපි අපිම වෙමු.. "

චේතිය එහෙම කියද්දී ඇයත් මෙහෙම කියයි.

"ආදරේ කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි චේති... ආදරේ කියන්නේ තමන්ව අනෙක් කෙනා වෙනුවෙන් මුළුමනින්ම පුද දෙන එක. හරියට හඳයි හඳේ හා පැටියයි වගේ ඒ පුද දීම අනන්තයක් නොදකින එකට. "

අරුණි කළුපහන

No comments:

Post a Comment